Tuesday, August 13, 2013

පුලා සුවඳ මලවුල් කැරැ

පුලා සුවඳ මලවුල් කැරැ වරල් බැඳ
දුලා රන් පතින් සරසා සවන් සොඳ 
නිලා දිගු නුවන් රසඳුන් තනා ඇඳ
බලා සිටු රඟන රඟ මඬලැ කල්බඳ

විදෙන ලෙළෙන නරු බර පුළුලුකුළැ රැඳී
හෙළන නඟන අත නුවනග බැලුම් දිදී
රුවින දිලෙන අබරණ කැලුම ගත යෙදී
සැලෙන පහන සිළු වැනි රඟන ලිය සැදී

ලකළ පුළුලුකුළ බඳ මිණි මෙවුල්ලා
සමඟ රන් සලඹ රැවු දී වෙවුල්ලා
වයන පදට තබමින් පද කමල්ලා
රඟන ළඳුන් බල රූසිරු සියල්ලා

 -සැළලිහිණි සංදේශය

Thursday, August 8, 2013

දිනෙක හිරු බැස යන වෙලාවක

දිනෙක හිරු බැස යන වෙලාවක
සයුරු වෙරළක හුදකලාවෙක
කල්පනාවේ සිටිය මොහොතක
මතක් විය සිතුවිලි අතීතෙක..

සයුර මා විය අහස ‍ඔබ විය
දෙදෙන ළං වූ ක්ෂිතිජයක් විය
ඒ වෙලාවේ මට මතක් විය
කලක් ලොව අප ගැන සිතූ හැටි..

සයුර මා විය අහස ‍ඔබ විය
දෙනෙත රැවටූ ක්ෂිතිජයක් විය
කී කථා‍වේ අරුත වැටහිණ
අහස සමුදුර එකතු වී යැයි..

පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය හා ගායනය - වික්ටර් රත්නායක

Tuesday, July 23, 2013

අකල්හී පියාපත්

අකල්හී පියාපත් බිඳී ගිය කුරුල්ලෙකු
ගයන ගී අහන්නට ආවෙහිද කිව මැනව
එකල්හී පියාපත් සවිමත් ව තුබූ සඳ
ඔබේ ලඟ අද වගේ මම උනිමි නොපෙනුනිද...

මානයෙන් නෙත් බිඳුනු ස්නේහයෙන් සිත මිදුණු
සරුංගල් ලෝකයේ එදා ඔබ නොදත්තෙමි
ප්‍රේමයෙන් හද පිරී ස්නේහයෙන් සිත බැඳී
ඔබේ හෙවණැල්ල සේ ඔබ ලඟම මම උනිමි...

සරුංගල් සිහින ලඟ ජීවිතය හේම වී
මට මගේ හෙවණෑල්ල පවා අද නැත ලඳුනි
නොතැවෙන්න පිය සබඳ විකල් වූ සිත නිවමි
ඔබේ හෙවණැල්ල වී සදා ඔබ ලඟ ඉඳිමි...

පද රචනය - මහින්ද අල්ගම
සංගීතය - රෝහණ වීරසිංහ
සහාය ගායනය - නිරංජලා සරෝජිනී

ඇත් රජුනි ඔබ එන්න

ඇත් රජුනි ඔබ එන්න 
සද්දන්ත පෙම රැගෙන
අනුරාගයට ප්‍රථම 
ඔබ දෙපා නමදින්න
අනේ මට ඉඩ දෙන්න...

සඳ රැජිණ ඔබ ඉන්න
මල් විලෙක පියා නෙත
ස්වයංවරයට ප්‍රථම
මගේ සඳ දැක ගන්න
ප්‍රියේ මට ඉඩ දෙන්න...

අකලංක මලින් පිරි 
සඳ යහන මත වැතිර
නිරිඳුනේ මම ඉඳිමි 
ඔබ නෙතින් ඉඳුල් වෙමි
මම ඔබේ රැජින වෙමි...

පුර පසින් සඳ නැගී
අවපසින් බසින තුරු
රැජිණියේ මම ඉඳිමි
ඔබ දෙසම බලා ඉමි
මම ඔබේ රජුන් වෙමි...

සියපතක් ලෙස සිතා 
ඔබ දෙපා සිප ගනිමි
මගේ දෙවිඳුන් ඔබයි 
දේව දාසියක් වෙමි
ප්‍රේමයේ වන්දනා...

රන් රුවන් කරඬුවක්
ලෙසින් ඔබ රැක ගනිමි
හදේ ලේ බිඳු රැගෙන
ලයේ පෙම් කව ලියමි
පාද පරිචාරිකා...

පද රචනය - සුජීව ප්‍රසන්න ආරච්චි
සංගීතය - ජයන්ත රත්නායක
සහාය ගායනය - උරේෂා රවිහාරි

Monday, July 15, 2013

ඇහුම්කම් දෙන්න නම් එපා

ඇහුම්කම් දෙන්න නම් එපා
අඩ සඳ නුඹත්, මා ඇයට මුමුණනා පෙම් කතා
ඇගෙ උණුසුමට මා මත් වෙලා
සුන්දර වූ මේ රැයේ තනි වෙලා...

මලානික වලාපෙල ඇදි ඇදී යයි දුරින්
නිරාවරණය කරයි මුලු ලෝකෙම අප කෙරෙන්
මගේ කොපුලක ඇගේ, අකීකරු කෙහෙ රැළක්
දැවටෙනා හැටි බලන්...

සරාගික නුරා ඇස යොමාගෙන ඇයි හොරෙන්
අපේ ලෝකයම දැන් වලා රොදත සඟවපන්
ඇසේ මිණීකැට ඇගේ උමතු වී ප්‍රේමයෙන්
දිළිසෙනා හැටි බලන්...

පද රචනය - ගීතනාත් කුඩලිගම
සංගීතය සහ ගායනය - වික්ටර් රත්නායක

Wednesday, July 3, 2013

සොඳුරිය ඔබගේ

සොඳුරිය ඔබගේ වුවන මලක් නම්
නිශා කලෙහි ඔබ සෙවු බඹරිඳු මා

සොඳුරිය ඔබගේ වුවන සඳක් නම්
දිවා කලෙහි පුල් කුමුදු මලෙකි මා
සොඳුරිය ඔබගේ වුවන මලක් නම්
නිශා කලෙහි ඔබ සෙවු බඹරිඳු මා

සොඳුරිය ඔබගේ වුවන මිණක් නම්
යොමා බැලුවෙ අහසේ තරු දෙස මා
සොඳුරිය ඔබගේ වියොව දුකක් නම්
සදා දෙනෙත් කඳුළින් සදනුද මා

පද රචනය - දයානන්ද ගුණවර්ධන
සංගීතය - ලයනල් අල්ගම

Sunday, June 30, 2013

මගේ ගෙටත් උඩ ඔබේ ගෙටත් උඩ

මගේ ගෙටත් උඩ ඔබේ ගෙටත් උඩ
කැලුම් දිදුලවන සරා සුපුන් සඳ
එක වහළක් යට එකට දකින්නට
පූරුවෙ කල පින් මහිම කියන්නට
ප්‍රියේ නුඹම උපනූපන් ජාති හමුවේවා...

කපුරු ගොඩක් සේ අළුවත් නොරැඳී
පැතූ පතුම් පෙල දැවී ගියාවූ
ජීවිතයට ඔබ අලුතින් එක්වී
මා ජීවත් කර සතුට ගෙනාවූ
ප්‍රියේ නුඹම උපනූපන් ජාති හමුවේවා....

කිළිටි මගේ අත ඔබට සුදූසු නැත
එබැවින් වෙනතක බැඳුනද කම් නැත
එනමුඳු මෙලොවේ නැවත උපන් කළ
අත් භවයෙන් එළිය දකින්නට
ප්‍රියේ නුඹම උපනූපන් ජාති හමුවේවා...

පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය හා ගායනය - වික්ටර් රත්නායක