Tuesday, February 18, 2014

සුරංගනාවක් සදිසි මෙනවියක්

සුරංගනාවක් සදිසි මෙනවියක් අපේ මණ්ඩියට ආවා ලූ
මතක පොතක සිත්තමක ගීයක එහෙම ලස්සනක් නැතුවා ලු
ඇය ඔබද කියන් ළඳුනේ
ඔබ ඇය ද කියන් ළඳුනේ

බොහොම කාලයක් ඔහොම රූපයක් මගේ හදවත තුල තිබුනා නම්
සිහින ලෝකයක් සැබෑ වුනු වගක් මෙහෙමෙ නිමේෂෙක හැඟුනා නම්
ඒ සිහින කුමරි ඔබ නම්
කුමරුවා මම ය බැඳි පෙම්

හිතට පාලුවක් දැනෙන යාමයක් ඔබටද මට මෙන් දැනේවි නම්
අපට තනිකමක් නොවෙන ලෝකයක් අපිම තනාගමු තනි වේ නම්
ඒ ලොව කියන නම නම්
ආදරය පමණි මට නම්

පද රචනය - සමන් චන්ද්‍රනාත් වීරසිංහ
තනු නිර්මාණය - ස්ටැන්ලි පීරිස්

Friday, February 7, 2014

එක කුඩයක් යට

එක කුඩයක් යට ගෑවි නොගෑවී
දවසක් හැන්දෑවේ
මතකද ඔබ මා පියවර මැන්නා
පිණිමල් වරුසාවේ....

කිසිවකු සමගින් එකට තුරුලු වී
ඉර බැස යන වේලේ
ඔබ යනු දුටු විට මතකය රිදවයි
අපෙ ඉස්සර කාලේ...

මද අව් රස්නෙට වුව සෙවනක් ඇත
ඔබ හට අද දවසේ
වැස්සට අව්වට තනිව මුහුණ දෙමි
මගේ මහිම එලෙසේ...

පද රචනය - දෙල්තොට චන්ද්‍රපාල
තනු නිර්මාණය  - ස්ටැන්ලි පීරිස්

Wednesday, February 5, 2014

සප්ත සයුරින් එහා

සප්ත සයුරින් එහා දේශ දෙශාන්තරේ
සිරිලක් සළු පිළියෙන් පිදු මව්බිම ධන නිධාන බඳු
සියල් සිරිලක පරසිඳු සළු වියනා කුමාරී...

අම්මා බඳු පෙම්මාදර සම්මා ගුණ පිරිපුන්
එම සන්නාලිය නංඟා දෙස නොබලන් වපරැසකින්...

කම්හල තුළ පවර විපුල් හුරු දෑතින් කොමළ නිමල්
කර මෙහෙවර සොඳ මනකල් ඉසුරු ගෙනේ එතෙරින් දුල්...

දෙන්නී ඇය මව් භුමිය රක්නා රන් මසුරන්
එම සන්නාලිය නංඟා දෙස නොබලන් වපරැසකින්
කැලුම් උදුල යෞවනයේ සිරිත් දහම් රැක පිරියේ
සළු වියනා රැජින දැයේ හිඳුවම් සිංහාසනයේ...

නන්දා ආනන්දා කරවන්නා ලංකා බිම්
එම සන්නාලිය නංඟා දෙස නොබලන් වපරැසකින්...

පද රචනය - අජන්තා රණසිංහ
තනු නිර්මාණය හා ගායනය - වික්ටර් රත්නායක

Monday, February 3, 2014

අරුන්දතී තාරකාව සේ දිලී දිලී

අරුන්දතී තාරකාව සේ දිලී දිලී
නුවන් පෙති විදා බලා නොව මැලී මැලී
බ්‍රහස්පතී නැණින් යොවුන් සිත් බැඳී බැඳී
දවස්පතී රුවින් සිනාසෙයි නැගී නැගී...

වෙරළ සමීපේ මින් සමුදායයි
ගමින් ගමට නිල් වන් වැව් යායයි
සිරිලක් දසනුදිසා එක හීයයි
ලක්වැසියෙක් වී අද ඉර පායයි..

මල්සර උක්දඬු දුනු හී මානයි
නව යෞවනයේ පෙම් රජ දානයි
හිරු නව පැතුම් පතා රැස් වීදයි
නිවහල් ලොවකට මං පෙත් පාදයි...

පද රචනය - සුනිල් ආරියරත්න
තනු නිර්මාණය  - සෝමපාල රත්නායක