Wednesday, September 25, 2013

මා තනි කුටියේ

මා තනි කුටියේ මගේම මනසේ
ඇගේ සුවඳ බිඳු තවරා ඈතක
නො එනා ගමන් ගියා දෝ
සුළං රොදේ
සුළං රොදේ

ළමා වියේ සිට ළසෝ තැවුල් විඳ
දුක් ගිනි පීඩා හිසින් දරාගෙන
සිතේ වියෝ ගිනි කතරක් වූ සඳ
ඔබත් නොයනු මැන මා හැරදා
සුළං රොදේ
සුළං රොදේ

ඇගේ මගේ දුක් ප්‍රේම විරහ ගී
අනන්තයේ කඳු අතරේ සඟවා
මගෙන් වියෝවූ ඇගේ ලෝකයට
ඔබත් නොයනු මැන මා හැරදා
සුළං රොදේ
සුළං රොදේ

පද රචනය - උපාලි ධනවලවිතාන
සංගීතය  - සරත් දසනායක

Monday, September 23, 2013

කණ කැස්බෑ නෙත

කණ කැස්බෑ නෙත බලා හිඳිනවා
අහස දකින්නට විය සිදුරෙන්
පෙරුම් පුරාගෙන අහස බැලූ දා
සඳ නැත අහසේ අමාවකයි

පියන් වසාලා අගුළු දමා තිබු
දිවි මැදුරේ කවුළුවක් ඇරී
සඳකැන් සිහිලස ගලා හැලෙන තුරු
බලා උනිමි එය තවත් නැතී

තනිකම ඝනඳුර නොනිමෙන කෙඳුරුම
යළි රජයන්නට වරම් ලැබී
සුපුරුදු උරුමයෙ සුළඟ වැදී යළි
කවුළුව වැසුණා අගුළු වැටී

පද රචනය - කේ.ඩී.කේ ධර්මවර්ධන
සංගීතය හා ගායනය - වික්ටර් රත්නායක

ඒ දණ්‍‍ඬෙන් පිය මනිනු එපා

ඒ දණ්‍‍ඬෙන් පිය මනිනු එපා
ගඟ අද හරිම සැරයි
තැන තැන ඇති ඵල බුදිනු එපා
අද මුළු ගමම විසයි..

විපතක් වූවොත් කාට කියන්නද
මා තනිවෙනවාමයි
තවම බහ නොදුන් ඔබ නැතිදා මම
ගම හැරදා යනවාමයි
අනුකම්පාවෙනි කියන්නෙ ‍මිහිරියෙ...

දෙදෙනා ඉන්නේ දෙගම්මානයේ
ගඟ ඒ මැදින් ඇදේ
පාලම හදලා ඉවර වෙන තුරා
දෙදෙනා බැ‍ඳෙනු ඇතේ
ඔරුවක් මට ඇත ඔබ ගෙන යන්නට...

පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය හා ගායනය - වික්ටර් රත්නායක

Wednesday, September 18, 2013

ආදර ගඟුලෙහි ඉවුරෙ රැඳී

ආදර ගඟුලෙහි ඉවුරෙ රැඳී සහන පවන් සැලූ
මා ළඟ ඔබ සිටිනා විටදී ලොවම දැකුම්කලු...

මල් වැල් වන විල් පිරී ගියේ සෙවණ දෙවන්නලු
බිඳු නඳ විහඟුන් ඉගිල්ලුනේ මිහිරෙ රැඳෙන්නලු
පුන් සඳ නැගුනෙත් අහස් තලේ අපට බලන්නලු
දෙනෙතට කඳුලැලි තුරුල් කලේ පෙමට අඬන්නලු...

මී වද මී පැණි පිරී ගියේ දෙතොලෙ රඳන්නලු
දේදුනු ඕවිලි මැවී ගියේ ලොවම පිනන්නලු
මේ ලොව මා ඉපදුනේ ප්‍රියේ ඔබව ලබන්නලු
ඒ හැර ලැබුණත් පලක් නැතේ ඉසුරු මැණික් මලු...

පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය - වික්ටර් රත්නායක
සහාය ගායනය -  ශ්‍රීමතී තිලකරත්න

Thursday, September 12, 2013

කොතැනද අද ඔබ ඉන්නේ

කොතැනද අද ඔබ ඉන්නේ
පිණි මුතුලැල් කඩා හැලී
සීතල සඳ පිපුණු රැයක
ආදරයෙන් උමතු වී බැඳී
මා ඇකයෙහි සැතපුන සොඳුරි
කොතැනද අද ඔබ ඉන්නේ...

අතීතයේ එක් දිනකුදු
නොදැක සිටින්නට නොහැකිව
අනන්ත රැකවල් මැද වුව
නිඹඳ මවෙත ළං වූ
අහිංසකාවියේ...
කොතැනද අද ඔබ ඉන්නේ...

දිවි ඇති තුරු එක සෙවණක
සැනසෙන්නට පෙරුම් පිරූ
පෙර අප හද වූ සෙනෙහස
කොතැනක සැඟවුනිදෝ
නිසංසලාවියේ...
කොතැනද අද ඔබ ඉන්නේ...

පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය හා ගායනය - වික්ටර් රත්නායක

Monday, September 9, 2013

ඇගේ නමට

ඇගේ නමට හිමිකම් පවරා දුන්
මගේ ජීවිතය නම් දිනපොත ගෙන
පෙරලා බැලුවෙමි එහි පිය සටහන්
යුග ගණනක් දුර මතකය විහිදා....

නිකිණි මහේ තිස් එක් වැනි රිවි දින
ඇය හමු වූ බව මම ම ලියා ඇත
රෝස මලක් ගුරු පාරේ දුටුවෙමි
නෙළා ගන්න එය දවසක රිසිවෙමි....

ඉල් මාසේ තිස් එක් වැනි සඳු දින
මිහිරි සොඳුරුබර සැඳෑ වෙලාවක
මා හා එන බව ඇගෙ අත් අකුරින්
පිටක් පිරෙන්නට ලියා තබා ඇත....

උඳුවප් මාසේ කිසියම් දවසක
බොඳ වූ පොඩි වූ පිටුවක් හමුවෙයි
ඇය දීගෙක ගිය වග මා අතහැර
කවුරු නමුත් ලියලා ඇත ලොකුවට

ඉන්පසු පසු පෙරළෙන හිස් පිටු ගණනකි
තවමත් එහි මම කිසිවක් නොලියමි...
තවමත් එහි මම කිසිවක් නොලියමි...
තවමත් එහි මම කිසිවක් නොලියමි...
තවමත් එහි මම.....

පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය හා ගායනය - වික්ටර් රත්නායක

Thursday, September 5, 2013

පායන සඳ ගැන

පායන සඳ ගැන මොනව හිතන්නද
හිතුවත් ඒ ගැන මොනව කියන්නද
කිව්වත් කිසිවෙකු අහන්නේ නෑ
එයද ආදරය වාගේ​...

සිතක සිතුම් එක්තැන් කොට අමුණා
ආදරයේ මහ පොතක් ලියුවෙමි
මේ ලොව නෙතු දස දහසක් ඇති මුත්
කිසිම නෙතක් ඒ දෙස හෙළුවේ නෑ​...​

ගීපොතකින් මා උපුටා නොගතිම්
මගේම සිතුමන් රසයෙන් එක්කොට
මා හැමදාමත් හඬගා කියනෙම්
ආදරයේ.. මහ පොතක් ලියු බව​...​​

පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය හා ගායනය - වික්ටර් රත්නායක