Friday, April 26, 2013

හිමි කාරි ඔබයි මගෙ ජීවිතයේ

හිමි කාරි ඔබයි මගෙ ජීවිතයේ
ජීවිතය මට නොදුන්නූ
හිමි කාරි ඔබයි මගෙ ජීවිතයේ
ආදරය මට නොදුන්නූ..

හිත හඬා වැටෙන දුක්බර මොහොතේ
සඳ පිපී සැඟවිලා ගියෙ කොතැනේ
ඔබ මගෙන් ඈත් වී ගිය මොහොතේ
දුක දරාගන්න හැකි වෙද කෙලෙසේ..

තරු කඩා වැටුනු කළුවර අහසේ
ඔබ තනි තරුවයි පිපි හද මඬලේ
මල් පිපී පරව ගිය මල් උයනේ
ඔබ සුවඳ මලයි මගේ හද උයනේ..

පද රචනය - බුද්ධදාස ගලප්පත්ති
සංගීතය හා ගායනය - වික්ටර් රත්නායක

අලුත් දවසක

අලුත් දවසක අලුත් වෙරළක
අලුත් ගීතය ඇසේවී
අලුත් අරුතක් දැනේවී
අලුත් හෙවණක අලුත් යහනක
අලුත් හීනය බි‍‍ඳේවී
අලුත් මිහිරක් දැනේවී..

පිපෙන මලකින් සුවඳඅරගෙන
හමා යද්දී මාරුතේ
උදම් නොවෙමින් තුරෙහි හිනැහෙන
එමල පහදයි ජිවිතේ..

හෙලන සුසුමක රැඳුනු දුක දැක
සසල වෙයි ගහ කොල පවා
එවන් සුසුමක් උපන් හදවත
සසල නැති හැටි රෑ දිවා..

සංගීතය හා ගායනය - වික්ටර් රත්නායක

Thursday, April 18, 2013

සිනා දොළක් වන් සිනාමලී

සිනා දොළක් වන් සිනාමලී
මල්වර නැකතින් දොරට වඩින සුදු සිනාමලී
බලා උන්නෙ එනතුරු පෙර වාගේ
ඇයි පිට පාරෙම අද...

පෙරට වඩා අද හැඩකාරයි
ආඩම්බර පාටයි
නාඳුනන ලෙස කෝල බැලුම් නෙත
නොදැක හිටිය ටික දවසට වෙනස් වුණාදෝ
ඇයි සිනා නැතුව අද...

වදුලු පුරා දං හිඹුටු සොයා
කෙළිදෙළෙන් නිදැල්ලේ
දුව පැන හිනැහුණු පුංචි කිරිල්ලිය
නුඹේ ළපටි සිත දෙගුරුන් අවුල් කළාදෝ
ඇයි කතා නැතුව අද...

පද රචනය -  කුලරත්න ආරියවංශ
සංගීතය හා ගායනය - වික්ටර් රත්නායක

යළි නො එනා ගමනක් දෝ

යළි නො එනා ගමනක් දෝ
නිම නොවෙනා ගමනක් දෝ

ළීණි අයින පාර කියන්නේ
මාළු අයින පෙරළි කරන්නේ
මූදේ කසු කුසුව ඇසෙන්නේ
දෑත දෙපා කඳුළු සලන්නේ

යොතේ තිඹිරි සුවඳ දැනෙන්නේ
පැලේ සුවඳ සුළඟ ගෙනෙන්නේ
දියඹේ අප තනිව ඉඳින්නේ
වෙරළේමයි හිත ගැවසෙන්නේ

පද රචනය - සුනිල් ආරියරත්න
සංගීතය හා ගායනය - වික්ටර් රත්නායක

Friday, March 29, 2013

කඳුළු පැන්

කඳුළු පැන් - කඳුළු පැන් කෙණ්ඩියක්
සිනහා මල් - සිනහා මල් වට්ටියක්
දෑතට ගෙන යා හැකි දුර ගවු සියයක් වත් වේ නම්
ප්‍රේම වන්තයෙක් වුනාට කමක් නෑ මලේ...

සුසුම් වැල් - සුසුම් වැල් ඔලගුවක්
පැතුම් මල් - පැතුම් මල් පළිඟුවක්
දෑතට ගෙන යා හැකි දුර ගවු සියයක් වත් වේ නම්
ප්‍රේම වන්තයෙක් වුනාට කමක් නෑ මලේ...

උණු කඳුළු - උණු කඳුළු බත් මුලක්
මල් පැදුරු - මල් පැදුරු පන් මිටක්
දෑතට ගෙන යා හැකි දුර ගවු සියයක් වත් වේ නම්
ප්‍රේම වන්තියෙක් වුනාට කමක් නෑ නගේ...

පද රචනය - රඹුක්කන සිද්ධාර්ධ හිමි
සංගීතය හා ගායනය - වික්ටර් රත්නායක

කඩුපුල් තලා

කඩුපුල් තලා
කඳුළින් දොවා
රහසේම ඈ
වෙන්වී ගියා..

දෙගුරුන් වරම් ලබා
ඔහු හා බැඳී
සැරදේ සදා
මට ඒ ඇතී..

පෙළුනොත් නුවන් තෙමී
යම් දාක දී
පවසන් ළ‍ඳේ
සැනෙකින් එමී..

පද රචනය -  කුලරත්න ආරියවංශ
සංගීතය -  ස්ටැන්ලි පීරිස්

සමුගන්නට අවසරයි

සමුගන්නට අවසරයි
අවසරයි අවසරයි
මගේ හිත මට දෙන්නකෝ
ඔබෙ හිත අරගන්න අවසරයි

තව ළඳකට මේ හිත පුද දෙන්න - අවසරයි
අත් හැර ඔබෙ අත් ඇගෙ අත ගන්න අවසරයි - අවසරයි
ඒ ලොව හිඳ මා හිත රිදවන්න අවසරයි....
ලස්සන යුග දිවි පෙවෙතක යන්න අවසරයි - අවසරයි අවසරයි

පෙම් ලොව විසිතුරු ඇය හා විඳිමි - අවසරයි
රන් සමනල ලෝකයකට යන්න අවසරයි - අවසරයි
තුන් හිතකින්වත් ඔබ නොපෙනෙන්න අවසරයි - අවසරයි
මග වැරදුණු දා මා වෙත එන්න අවසරයි....

පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය හා ගායනය - වික්ටර් රත්නායක
යුග ගායනය - නිරංජලා සරෝජිනී