Monday, May 6, 2013

මල්සර උක්දඬු දුන්නෙන් පැණි බී

මල්සර උක්දඬු දුන්නෙන් පැණි බී
දේදුන්නක් උඩු අතට නවා බිඳ
මල් උයනක මල් අවුල්කර දමා
ඔබේ පැල්පතට ඔබ දැක ගන්නට
ආවෙමි වියරු වැටී...

ඔබ හඬනා හඬ මට ඇසුණේ නැත
ඔබ හිනැහෙන හඬ මට ඇසුණේ නැත
ඔබ නිහඬ ව සිටිනා හඬ පමණක්
සවන් යොමා සිටි මට ඇසුණා
ඔබේ නිහඬ බව මා සිත කලඹයි...

හිනැහෙනු මැන හසරැල් අතුරා වත
හඬනු මැනවි නැතිනම් පොඟවා නෙත
ඔබ නිහඬ ව සිටිනා විට මගෙ සිත
මුළු ලොව හැඬුවත් දෙසවන නොමදෙත
ඔබේ නිහඬ බව මා සිත කලඹයි...

පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය හා ගායනය - වික්ටර් රත්නායක

දෛවයෝගයකින් නොවේදෝ

දෛවයෝගයකින් නොවේදෝ
හමුවුණේ අප හමු වුණේ
දෛවයේ සරදම් ලබන්නට
කිම මෙසේ අප හමුවුනේ...

ඇදුරුතුමියයි ප්‍රේමයේ ඔබ
ඇදුරුතුමියයි යෞවනේ
ශෝකයේ රුදු වේදනාවේ
කඳුළු සයුරේ උල්පතයි...

නඳුන් උයනයි ස්නේහයේ ඔබ
සඳුන් සිළිලයි ජීවිතේ
සොම්නසේ ආනන්දයේ
හසරැල් තරංගේ උල්පතයි...

පද රචනය - සුනිල් ආරියරත්න
සංගීතය හා ගායනය - වික්ටර් රත්නායක

කතරට කුමටද වසන්තයක්

කතරට කුමටද වසන්තයක්
සයුරට කුමටද අනන්තයක්
ඔබ පිලිබඳ සිත මගෙ තනියට ඇත
මට කුමටද වෙන සිතක් කයක්...

දුහුවිලි සුලි සුලි නැගෙයි බි‍ඳෙයි
දිය ඇලි දිය ‍රැලි ඇදෙයි ‍රැ‍ඳෙයි
මතකය ලුහුබැඳ ඔබ වෙත එන සඳ
ජීවිතයම මගෙ ඔබෙයි ඔබෙයි...

සඳ ‍රැස පිණිදිය ‍රැලෙහි ඔතා
පලඳමි ගෙලවට මලක් ගොතා
ඔබ නැති මිහිමත මගෙ පණනළ නැත
දෙදෙනෙකු මුත් අප එකයි එකයි...

පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය හා ගායනය - වික්ටර් රත්නායක

Friday, April 26, 2013

හිමි කාරි ඔබයි මගෙ ජීවිතයේ

හිමි කාරි ඔබයි මගෙ ජීවිතයේ
ජීවිතය මට නොදුන්නූ
හිමි කාරි ඔබයි මගෙ ජීවිතයේ
ආදරය මට නොදුන්නූ..

හිත හඬා වැටෙන දුක්බර මොහොතේ
සඳ පිපී සැඟවිලා ගියෙ කොතැනේ
ඔබ මගෙන් ඈත් වී ගිය මොහොතේ
දුක දරාගන්න හැකි වෙද කෙලෙසේ..

තරු කඩා වැටුනු කළුවර අහසේ
ඔබ තනි තරුවයි පිපි හද මඬලේ
මල් පිපී පරව ගිය මල් උයනේ
ඔබ සුවඳ මලයි මගේ හද උයනේ..

පද රචනය - බුද්ධදාස ගලප්පත්ති
සංගීතය හා ගායනය - වික්ටර් රත්නායක

අලුත් දවසක

අලුත් දවසක අලුත් වෙරළක
අලුත් ගීතය ඇසේවී
අලුත් අරුතක් දැනේවී
අලුත් හෙවණක අලුත් යහනක
අලුත් හීනය බි‍‍ඳේවී
අලුත් මිහිරක් දැනේවී..

පිපෙන මලකින් සුවඳඅරගෙන
හමා යද්දී මාරුතේ
උදම් නොවෙමින් තුරෙහි හිනැහෙන
එමල පහදයි ජිවිතේ..

හෙලන සුසුමක රැඳුනු දුක දැක
සසල වෙයි ගහ කොල පවා
එවන් සුසුමක් උපන් හදවත
සසල නැති හැටි රෑ දිවා..

සංගීතය හා ගායනය - වික්ටර් රත්නායක

Thursday, April 18, 2013

සිනා දොළක් වන් සිනාමලී

සිනා දොළක් වන් සිනාමලී
මල්වර නැකතින් දොරට වඩින සුදු සිනාමලී
බලා උන්නෙ එනතුරු පෙර වාගේ
ඇයි පිට පාරෙම අද...

පෙරට වඩා අද හැඩකාරයි
ආඩම්බර පාටයි
නාඳුනන ලෙස කෝල බැලුම් නෙත
නොදැක හිටිය ටික දවසට වෙනස් වුණාදෝ
ඇයි සිනා නැතුව අද...

වදුලු පුරා දං හිඹුටු සොයා
කෙළිදෙළෙන් නිදැල්ලේ
දුව පැන හිනැහුණු පුංචි කිරිල්ලිය
නුඹේ ළපටි සිත දෙගුරුන් අවුල් කළාදෝ
ඇයි කතා නැතුව අද...

පද රචනය -  කුලරත්න ආරියවංශ
සංගීතය හා ගායනය - වික්ටර් රත්නායක

යළි නො එනා ගමනක් දෝ

යළි නො එනා ගමනක් දෝ
නිම නොවෙනා ගමනක් දෝ

ළීණි අයින පාර කියන්නේ
මාළු අයින පෙරළි කරන්නේ
මූදේ කසු කුසුව ඇසෙන්නේ
දෑත දෙපා කඳුළු සලන්නේ

යොතේ තිඹිරි සුවඳ දැනෙන්නේ
පැලේ සුවඳ සුළඟ ගෙනෙන්නේ
දියඹේ අප තනිව ඉඳින්නේ
වෙරළේමයි හිත ගැවසෙන්නේ

පද රචනය - සුනිල් ආරියරත්න
සංගීතය හා ගායනය - වික්ටර් රත්නායක