Thursday, February 16, 2017

කඳුළු කුමට අප සමුගත් අතීතයට

කඳුළු කුමට අප සමුගත් අතීතයට
අතීතයම සොඳුරු සිහිනයක්...

ආදර කවියක තැවරුණ
සුවඳ අතර නිරන්තරව
ආදරයෙන් අප වැතිරුණ
වසන්ත සමයක්...

ජීවිතයේ මතක අතර
හද සරසන මතකයක්ව
මියුරු සරින් අප අමතන
මිතුරු මතකයක්...

පද රචනය - රෝහාන් ලියනගේ
සංගීතය - දර්ශන වික්‍රමතුංග

Tuesday, October 25, 2016

දෑසේ හිනාවේ කඳුලැල් උදාවේ

දෑසේ හිනාවේ කඳුලැල් උදාවේ
බොඳ වේ ද සුදු මීදුමේ
ඈ මා සොයා ඒ තරු කැන් දුමාරේ
දුර ඈත කඳු බෑවුමේ...

රෑ සිහිනෙන් ළං වී සැතපී සිතේ
අනුරාග මල් මාවතේ
ඇසුරෙන් දුරස් වී ප්‍රේමේ වියෝ ගී
ඇවිලේ ද පෙම් චිතකයේ...

මා මනසින් වෙන් වී මතකේ වෙලී
ගුරු පාර ළඟ ගං ඉමේ
සිතුවම් අතීතේ විහඟුන් විලාසේ
පෙරසේ මැවේ මැදියමේ...

පද රචනය - අජන්තා රණසිංහ
තනු නිර්මාණය හා ගායනය - වික්ටර් රත්නායක

Friday, February 5, 2016

රන් දේදුන්නක්

රන් දේදුන්නක් දිග හැර පෙම් මල්
මාවතක් මවලා
මල් හී දුනු ගත් කුමර කුමරියන්
මාවතේ පිරිලා...

වළා යහනේ උදා පවනේ
යොවුන් මල් පිපුණා
මතක සයුරේ සිහින අතරේ
තරඟ වැල් නැගුණා...

සිනා දෙතොලේ කඳුළු දෑසේ
වචන දැන හඳුනා
තක්සලාවේ කියූ පාඩම
යළිදු සිත ඇඳුනා...

පද රචනය - ධර්මසිරි ගමගේ
තනුව - නන්දා මාලිනී
චිත්‍රපට‍ය - බඹා කෙටූ හැටි

Wednesday, February 3, 2016

සිප එන සමනල මුදුනින්

සිප එන සමනල මුදුනින්
ජනරජ දිනකර කිරණින්
ලංකා.. රන් තඹර කැකුළ
විකසිත වෙනවා...

ආසිරි සත් රුවන් වැසී
ඈත තුසීතයෙන් ඉසී
ඉසුරු සුවය විඳිනු රිසී
සුරන් පවා බිමට බසී...

භූ පාලන නව රැල්ලේ
එක ධජයක සෙවණැල්ලේ
නිවහල් රන් ඕවිල්ලේ
ජන ජය ගී මංගල්ලේ...

පද රචනය - කේ.ඩී.කේ ධර්මවර්ධන
සංගීතය හා ගායනය - වික්ටර් රත්නායක

Sunday, January 10, 2016

රෝස මලේ රතු රෝස මලේ

රෝස මලේ රතු රෝස මලේ
දෙබරු නොවේ අපි බඹර කුලේ
රොනට මලේ පෙම් තුඩඟ සැලේ
රෝස මලේ රතු රෝස මලේ...

අප ආ මාවත සැරිසැරු වනපෙත 
සිටි මල් කුමාරියෝ 
දිනුවේ නෑ සිත නුඹ මෙන් උන් වත
අප ගෙන් නොවනු වියෝ...

කටු අතු අතරේ මුදු වත සඟවා
නොසැලී සිටින් මලේ 
ගත සිත සනහා පවස ද සිඳවා
පෙම් රොන් දියන් මලේ...

පද රචනය -  කේ. ඩී. කේ. ධර්මවර්ධන
සංගීතය හා ගායනය - වික්ටර් රත්නායක
සහාය ගායනය - අරුණ ශ්‍රී ආරියදාස

Thursday, December 17, 2015

කොහේ සිට ඔබ පැමිණියේදෝ

කොහේ සිට ඔබ පැමිණියේදෝ
සිහිනයේ රැඳුණු ඒ අප්සරා
මගේ ඉරබටු තාරකා
ඔබට ගැයෙනා නැවුම් කුළුඳුල් ප්‍රේම ගීයයි මේ...

දෙනෝදාහක් අවට සිටිය ද
තනිවෙලා වේදනා වින්දෙමි මම්
නුවන් දාහක් අවට දුටුව ද
දෙනෙත නළවන නෙතක් නොදුටිම් මම්...

පාළු ගනඳුරු රුදුරු රෑ මැද
නෙත වසා ආදරේ පැතුවෙමි මම්
මගේ සුසුමන් දැනෙන තරමට
ඔබට ළංවී කෙදින හිඳිමි ද මම්...

පද රචනය - කේ.ඩී.කේ ධර්මවර්ධන
සංගීතය හා ගායනය - වික්ටර් රත්නායක
චිත්‍රපටය - පොඩි මල්ලී

Saturday, August 15, 2015

දසත මධු වසන්තේ

දසත මධු වසන්තේ
යසට සිතුවම් වෙලා
රජත හසරැළි දිසේ
මුහුණු විකසිත වෙලා...

බඹරතුඩු නොදුටු හෙල්මැලි කපුරු අතුරලා
සුළං පොද රැඳුනු මල් සුවඳ විත ඉහිරිලා
සුවඳ විත ඉහිරිලා...

නොහිම් සුව විදින සිත සිරුරෙනුදු නික්මිලා
තව්තිසාවක සරයි අසිරියෙන් මත්වෙලා
අසිරියෙන් මත්වෙලා...

පද රචනය - කේ.ඩී.කේ ධර්මවර්ධන
සංගීතය හා ගායනය - වික්ටර් රත්නායක

Sunday, August 9, 2015

සිහිනෙන් ඇවිදින

සිහිනෙන් ඇවිදින මගේ දෙපා මුල
මේ දිය බඳුනක් කවුදෝ තැබුවේ
සිහිනෙන් ගොස් මා නිබඳ විවර කළ
දොර කවුරු ද වැසුවේ...

දෙපයට දැනිලා වතු‍රේ සීතල
සිහිනෙන් ඇවිදින මා බලනා සඳ
ඒ නිල් දිය මත සෙවණැල්ලක් වී
හිනැහෙන ඔබ රුව මා නෙත රැඳුනා...

ගේ දොර හැරගෙන මිදුලට අවුදින්
බැලූ විට දිදුලන සඳ රේඛා මත
සිහිළඹ පොකුණෙන් දිය නා සපැමිණි
කුමාරියක් වී ඔබ රුව පෙණුනා...

පද රචනය - ධර්මසිරි ගමගේ
සංගීතය - සෝමපාල රත්නායක

Sunday, July 19, 2015

සොඳුර නුඹ මට මවු වෙයන්

සොඳුර නුඹ මට මවු වෙයන්
මතු උපදිනා දින බව කුසේ
බිරිඳ වී මගේ වින්ද දුක් ගිනි
නිවාලන්නට පවු ගෙවන්නට...

දුකේ සැපතේ එක ලෙසේ
පණනල ලෙසේ මා ළඟ ‍රැදී
සොඳුර නුඹ මට මවු වෙයන්
මතු උපදිනා දින බව කුසේ...

හදට දුක් ගිනි කිසිත් නොම දී
නුඹ රකින්නට ණය ගෙවන්නට
සොඳුර නුඹ මට මවු වෙයන්
මතු උපදිනා දින බව කුසේ...

ගී පද - ගාමිණී ෆොන්සේකා
සංගීතය හා ගායනය - වික්ටර් රත්නායක

Wednesday, June 17, 2015

කටු කොහොලින් පිරුණු ලොවින්

කටු කොහොලින් පිරුණු ලොවින් කිඩාරමින් වැසුණු ලොවින්
රුදු උරඟුන් ගහන ලොවින් පාළු මුඩුම වියලි ලොවින්
එක පිම්මෙන් පියාසලා අලුත් ලොවට යමු ඉගිලී
අපේ ගමන මුවා නො කොට සැඟවෙව් ගිජු ළිහිණියනී

ගිජු ළිහිණිය දිය සිඳිලා ඔබේ ලොවේ මල් මැරිලා
එහා ලොවේ වැව් පිරිලා තඹුරු කුමුදු මල් පිපිලා
විහඟ ගීත රාව නැඟෙන නිසයුරු රැස් සලන ලොවේ
ආසිරි මල් වැහි වැහැලා දහසක් රන් මැඳුරු මැවේ

සඳුන් කලල් ඇඟ නාගෙන අම්බරුවන් බැත පාගන
ගැමි සීපද හඬ පාවෙන යමු ලොවකට හඳ පායන
තුටින් කෙළන මින් රළ දැක ගැයුම් ගයමු හඬ නඟලා
සුහුඹුල් නිල් තුරු සෙවනේ රැඟුම් රඟමු පා තබලා.....

පද රචනය - සුනිල් ආරියරත්න
සංගීතය - ප්‍රේමසිරි කේමදාස
සහාය ගායනය - සනත් නන්දසිරි

Tuesday, April 7, 2015

බක්මහටයි ගොඩ වැස්ස වහින්නේ

බක්මහටයි ගොඩ වැස්ස වහින්නේ
බක්මහටයි අවුරුද්ද පුරන්නේ
බක්මහටයි හෙණ විදුලි කොටන්නේ
බක්මහටයි අපි දීගෙක යන්නේ

මහ වැහි වහිනා බක්මාසේ
හෙණ හඬ තලනා බක්මාසේ
කොවුලන් හඬනා බක්මාසේ
පැණිරහ කැවෙනව බක්මාසේ...

කැන්දන් යන්නෙත් බින්න බහින්නෙත්
දෙන්න කැමැත්තෙන් හැංගිල යන්නෙත්
මංගල මාසේ
මංගල මාසේ බක්මාසේ...

පද රචනය - දයානන්ද ගුණවර්ධන
සංගීතය - සෝමදාස ඇල්විටිගල

Monday, March 30, 2015

පොඩි විහඟ තුඩේ මියුරු කතා

පොඩි වහඟ තුඩේ මියුරු කතා
රැවුදෙන ඈත රටේ පුංචි කිරිල්ලී
වන බඹර මුවේ රේණු පිරූ
ආදර මාරුතයේ ඒවි ඉගිල්ලී...

කාටද රහසින් කීවේ කීවේ නෑ සුව දී මුදු රාවේ
ඔබදෝ නොකියා ආවේ ආවේ නුදුටුව රූ සිරියාවේ
රන්රසු නාදේ ඔබගේ පාදේ ළං වී සවනේ සරනා
ඒ හඩ මා මන මඬලේ යාවී ආදර ඡායා පිපුණා...

රෑ හඳ තරු මල් යායේ පාවේ සීතල සිතුපෙම් මවනා
මා ළඟ දෑතින් දෑතේ පැටලී කවුදෝ උණුහුම් දෙවනා
රෑ දුටු සීනේ දෑසට හමු නී මේ දුර ආවා ආවා
දෑසට ළං වුණු ඉඳුවර දෑසින් මල්මද ස්නේහේ දේවා...

පද රචනය - අජන්තා රණසිංහ
තනුව - එච්.එම්. ජයවර්ධන
යුග ගායනය - නිර්මලා රණතුංග

Monday, February 23, 2015

කියන්න මගෙ සුදු

කියන්න මගෙ සුදු පුන්චි කුමාරයො
මා හමුවන්නට මෙහි ආ කාරිය
අසන්න මගෙ සුදු පුන්චි කුමාරියෙ 
මමවත් නොදනිමි මා ආ කාරිය...

ඔබේ ලසෝ ගිනි තැවුල් නිවාලන
ඔසුවක් ඇතිදැයි අසමි දයාවෙණ
මදෙස බලා ඉනු මැන කරුණාවෙන් 
එයයි මගේ ගිම් නිවන නවාතැන...

දෙනෝ දහක් දෙන සිටින ලොවේ හිඳ
කුමට මගේ පිලිසරණ පතන්නෙද
දෙපා සතුන්ගෙන් බැට කන මා හද 
ඔබේ සරණ නිබඳව නොසොයාවිද...

පද රචනය -
සංගීතය -
යුග ගායනය - නිරංජලා සරෝජිනී

Thursday, February 5, 2015

එපා හිරු පායන්න

එපා හිරු පායන්න අදින් පසු මගෙ ලොවට
අදයි අවසන් දවස ඇගෙන් මා හා
මගෙන් ඈ සමුගන්න...

සැඳෑ තරු නොදිලෙන්න සරා සඳ නොනඟින්න
වෙලී යුගඳුර සතර අනු දිසා ගිලගන්න
ගලා යන නදී දොළ මිදී
මිදී නැවතී ඉන්න...

ලිය මඬුලු තුරු සිරස එපා මල් පළඳින්න
වසන්තය නිමාවිය කොවුලනේ ගොළු වන්න
සොබා දම් නෑසියනි සැලී
සැලී කම්පා වන්න...

ගී පද - කුමාරදාස සපුතන්ත්‍රී
සංගීතය හා ගායනය - වික්ටර් රත්නායක

Tuesday, February 3, 2015

අපට එපා බිම් අඟලක්වත්

අපට එපා බිම් අඟලක්වත්
අනුන්ගෙ දේසෙක මහ පොළොවේ
මළත් නොදෙමු බිම් අඟලක්වත්
අප ඉපදුණ මේ මව් පොළොවේ...

අපේ උපන්බිම අපි රැකගන්නට
අවසන් ලේ බිඳුවත් හෙලමු
අපේ හපන්කම් සතුරන් අබිමුව
කේශර ලීලාවෙන් මවමු...

ජාතිය නැතිදා රටක් කොහේදෝ
රට නැති වුණ දා දැයක් කොහේදෝ
මළත් නොදෙමු බිම් අඟලක්වත්
අප ඉපදුණ මේ ලක් පොළොවේ...

පද රචනය - පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි
සංගීතය - අමරසිරි පිරිස්
ගායනය - වික්ටර් රත්නායක

Sunday, February 1, 2015

මීන නුවන් යුගින්

මීන නුවන් යුගින් බලන් මීනා මීනා
තල් අරඹේ තල් පවුරෙන් එබී බලන් මීනා

බලන්න බෑ බණ්ඩාරේ
උඩරට කුල නිල බල යුතු
බණ්ඩාරේ බණ්ඩාරේ...


ඔබ කෝවිල් එන්නෙත් නෑ
මට පන්සල් එන්නත්බෑ
අපි ඈතයි අපි ඈතයි
බණ්ඩාරේ බණ්ඩාරේ...


අත්වැල් බැඳ කෝවිල් යමු
පෝය දාට පන්සල් යමු
මෘදංග නද ගැටබෙර හඬ
අපගේ දෙසවනට එකයි...

පද රචනය - සුනිල් ආරියරත්න
සංගීතය හා ගායනය - වික්ටර් රත්නායක
යුග ගායනය - නිරංජලා සරෝජිනී

Sunday, January 25, 2015

කාසිවලට ගන්නත් බෑ

කාසිවලට ගන්නත් බෑ
කාසිවලට දෙන්නත් බෑ
මනුස්සකම මිනිස්සුනේ...
කාසි වාසි ඇති අය ළඟ
බොහොම හිඟයි ගන්නට නෑ
මනුස්සකම මිනිස්සුනේ...

දිඹුල් ගහක් ළඟට ගිහින්
අඬන්නෙපා මල් ඉල්ලා
මරු කතරක් මැදට ගිහින්
අඬන්නෙපා දිය ඉල්ලා...

දිය දෝතක් බොන්න ඕන
දිය දෝතක් පිරුණු අතින්
මල් අහුරක් ගන්න ඕන
මල් අහුරක් තියෙන අතින්...

පද රචනය - පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි
සංගීතය හා ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක

Tuesday, January 20, 2015

පෙම් රස වෑහෙන මංගල ගීතේ ජීවිතේ

පෙම් රස වෑහෙන මංගල ගීතේ ජීවිතේ
මධුරස වෑහෙනා ආදර නැකත ළඟා වේ...

නිල්වන පියසේ පුංචි කැදැල්ලේ ආදරේ
දෙතොලග ගී සැරේ මී වද සුවඳ සදා දේ...


පෙම් කතරේදී දෑස නිවාලන
අවාරයේ ආ පිනි වරුසා වේවා...
ඒ පෙම් කතරේ මා එන අතරේ
තනි තරුවක් සේ පාවේවා...


සසර සැඳැල්ලේ නැගුණු සුපෙම් සඳ
මැකී නොයේවා සදාතනික වේවා...
සසරෙන් සසරේ එන්නෙමි මිහිරේ
ධීවරියක් සේ මා එනවා...


පද රචනය - සෝමපාල ලීලානන්ද
සංගීතය -  සරත් දසනායක
සහාය ගායනය - ඉන්ද්‍රාණි පෙරේරා
චිත්‍ර පටය - සදහටම ඔබ මගේ

Friday, January 16, 2015

බනින්නෙපා පොඩි දෝණිට

බනින්නෙපා පොඩි දෝණිට ගහන්නෙපා
හාල් මිටක් දුව අරගෙන ඇත්තේ
සෙල්ලම් බත් උයන්නයි...

දුරුතු පෝය දා කැළණි විහාරේ
වඳින්න ගොස් අපි එන ගමනේ
වළං මුට්ටි පොඩි අරගෙන දුන්නේ
සෙල්ලම් බත් උයන්නයි...

මුට්ටි වළං පොඩි ලිප උඩ තියලා
සෙල්ලම් බත් උයලා දෙන්නයි
අපි දෙන්නාටම ඉන් බත් කට කට
දුවගෙ අතින් කවන්නයි...

පද රචනය - ධර්මසිරි ගමගේ
සංගීතය - රෝහණ වීරසිංහ

Monday, January 12, 2015

ඉරක් පායනා දේශය

ඉරක් පායනා දේශය
ලොවක් ලොබ බැදුණු දේශය
මගේ මේ රටයි සුන්දර
බලනු මැන සකී...

ජාතියේ උදාලෝකය මගේ හදවතයි දේශය
සිංහලේ මගේ පින්බර පොළොව මම සිඹිම්
විදෙස් දේශයන් අබියස නිවට ජාතියක් විලසට
දෙදණ බිම ඔබා මැතිදුනි හිඳිනු මම කෙසේ...

ජාතියේ මහා මානය මගේ හදවතයි දේශය
සිංහලේ මගේ පින්බර පොළොව මම සිඹිම්
ඉරක් පායනා දේශය ලොවක් ලොබ බැදුණු දේශය
මගේ මේ රටයි සුන්දර බලනු මැන සකී...

පද රචනය - පද්මකුමාර මෙත්තසේන
තනු නිර්මාණය හා ගායනය - වික්ටර් රත්නායක