Saturday, August 15, 2015

දසත මධු වසන්තේ

දසත මධු වසන්තේ
යසට සිතුවම් වෙලා
රජත හසරැළි දිසේ
මුහුණු විකසිත වෙලා...

බඹරතුඩු නොදුටු හෙල්මැලි කපුරු අතුරලා
සුළං පොද රැඳුනු මල් සුවඳ විත ඉහිරිලා
සුවඳ විත ඉහිරිලා...

නොහිම් සුව විදින සිත සිරුරෙනුදු නික්මිලා
තව්තිසාවක සරයි අසිරියෙන් මත්වෙලා
අසිරියෙන් මත්වෙලා...

පද රචනය - කේ.ඩී.කේ ධර්මවර්ධන
සංගීතය හා ගායනය - වික්ටර් රත්නායක

Sunday, August 9, 2015

සිහිනෙන් ඇවිදින

සිහිනෙන් ඇවිදින මගේ දෙපා මුල
මේ දිය බඳුනක් කවුදෝ තැබුවේ
සිහිනෙන් ගොස් මා නිබඳ විවර කළ
දොර කවුරු ද වැසුවේ...

දෙපයට දැනිලා වතු‍රේ සීතල
සිහිනෙන් ඇවිදින මා බලනා සඳ
ඒ නිල් දිය මත සෙවණැල්ලක් වී
හිනැහෙන ඔබ රුව මා නෙත රැඳුනා...

ගේ දොර හැරගෙන මිදුලට අවුදින්
බැලූ විට දිදුලන සඳ රේඛා මත
සිහිළඹ පොකුණෙන් දිය නා සපැමිණි
කුමාරියක් වී ඔබ රුව පෙණුනා...

පද රචනය - ධර්මසිරි ගමගේ
සංගීතය - සෝමපාල රත්නායක

Sunday, July 19, 2015

සොඳුර නුඹ මට මවු වෙයන්

සොඳුර නුඹ මට මවු වෙයන්
මතු උපදිනා දින බව කුසේ
බිරිඳ වී මගේ වින්ද දුක් ගිනි
නිවාලන්නට පවු ගෙවන්නට...

දුකේ සැපතේ එක ලෙසේ
පණනල ලෙසේ මා ළඟ ‍රැදී
සොඳුර නුඹ මට මවු වෙයන්
මතු උපදිනා දින බව කුසේ...

හදට දුක් ගිනි කිසිත් නොම දී
නුඹ රකින්නට ණය ගෙවන්නට
සොඳුර නුඹ මට මවු වෙයන්
මතු උපදිනා දින බව කුසේ...

ගී පද - ගාමිණී ෆොන්සේකා
සංගීතය හා ගායනය - වික්ටර් රත්නායක

Wednesday, June 17, 2015

කටු කොහොලින් පිරුණු ලොවින්

කටු කොහොලින් පිරුණු ලොවින් කිඩාරමින් වැසුණු ලොවින්
රුදු උරඟුන් ගහන ලොවින් පාළු මුඩුම වියලි ලොවින්
එක පිම්මෙන් පියාසලා අලුත් ලොවට යමු ඉගිලී
අපේ ගමන මුවා නො කොට සැඟවෙව් ගිජු ළිහිණියනී

ගිජු ළිහිණිය දිය සිඳිලා ඔබේ ලොවේ මල් මැරිලා
එහා ලොවේ වැව් පිරිලා තඹුරු කුමුදු මල් පිපිලා
විහඟ ගීත රාව නැඟෙන නිසයුරු රැස් සලන ලොවේ
ආසිරි මල් වැහි වැහැලා දහසක් රන් මැඳුරු මැවේ

සඳුන් කලල් ඇඟ නාගෙන අම්බරුවන් බැත පාගන
ගැමි සීපද හඬ පාවෙන යමු ලොවකට හඳ පායන
තුටින් කෙළන මින් රළ දැක ගැයුම් ගයමු හඬ නඟලා
සුහුඹුල් නිල් තුරු සෙවනේ රැඟුම් රඟමු පා තබලා.....

පද රචනය - සුනිල් ආරියරත්න
සංගීතය - ප්‍රේමසිරි කේමදාස
සහාය ගායනය - සනත් නන්දසිරි

Tuesday, April 7, 2015

බක්මහටයි ගොඩ වැස්ස වහින්නේ

බක්මහටයි ගොඩ වැස්ස වහින්නේ
බක්මහටයි අවුරුද්ද පුරන්නේ
බක්මහටයි හෙණ විදුලි කොටන්නේ
බක්මහටයි අපි දීගෙක යන්නේ

මහ වැහි වහිනා බක්මාසේ
හෙණ හඬ තලනා බක්මාසේ
කොවුලන් හඬනා බක්මාසේ
පැණිරහ කැවෙනව බක්මාසේ...

කැන්දන් යන්නෙත් බින්න බහින්නෙත්
දෙන්න කැමැත්තෙන් හැංගිල යන්නෙත්
මංගල මාසේ
මංගල මාසේ බක්මාසේ...

පද රචනය - දයානන්ද ගුණවර්ධන
සංගීතය - සෝමදාස ඇල්විටිගල

Monday, March 30, 2015

පොඩි විහඟ තුඩේ මියුරු කතා

පොඩි වහඟ තුඩේ මියුරු කතා
රැවුදෙන ඈත රටේ පුංචි කිරිල්ලී
වන බඹර මුවේ රේණු පිරූ
ආදර මාරුතයේ ඒවි ඉගිල්ලී...

කාටද රහසින් කීවේ කීවේ නෑ සුව දී මුදු රාවේ
ඔබදෝ නොකියා ආවේ ආවේ නුදුටුව රූ සිරියාවේ
රන්රසු නාදේ ඔබගේ පාදේ ළං වී සවනේ සරනා
ඒ හඩ මා මන මඬලේ යාවී ආදර ඡායා පිපුණා...

රෑ හඳ තරු මල් යායේ පාවේ සීතල සිතුපෙම් මවනා
මා ළඟ දෑතින් දෑතේ පැටලී කවුදෝ උණුහුම් දෙවනා
රෑ දුටු සීනේ දෑසට හමු නී මේ දුර ආවා ආවා
දෑසට ළං වුණු ඉඳුවර දෑසින් මල්මද ස්නේහේ දේවා...

පද රචනය - අජන්තා රණසිංහ
තනුව - එච්.එම්. ජයවර්ධන
යුග ගායනය - නිර්මලා රණතුංග

Monday, February 23, 2015

කියන්න මගෙ සුදු

කියන්න මගෙ සුදු පුන්චි කුමාරයො
මා හමුවන්නට මෙහි ආ කාරිය
අසන්න මගෙ සුදු පුන්චි කුමාරියෙ 
මමවත් නොදනිමි මා ආ කාරිය...

ඔබේ ලසෝ ගිනි තැවුල් නිවාලන
ඔසුවක් ඇතිදැයි අසමි දයාවෙණ
මදෙස බලා ඉනු මැන කරුණාවෙන් 
එයයි මගේ ගිම් නිවන නවාතැන...

දෙනෝ දහක් දෙන සිටින ලොවේ හිඳ
කුමට මගේ පිලිසරණ පතන්නෙද
දෙපා සතුන්ගෙන් බැට කන මා හද 
ඔබේ සරණ නිබඳව නොසොයාවිද...

පද රචනය -
සංගීතය -
යුග ගායනය - නිරංජලා සරෝජිනී