Saturday, November 30, 2013

හෝපලු වනපෙත

හෝපළු වනපෙත කම්පිත කරවන
මන්මද නර්තන රංගන කළ මැන...

ලැම විල පියකරු හසුන් රකින්නී
සිහිනිඟ සුවිපුල් උකුල් දරන්නී
මන්මද නර්තන රංගන කළ මැන...

අංජන ගල්වන පංකජ නයණී
වෙණ චංචල කළ සත්සර දියණී
මන්මද නර්තන රංගන කළ මැන...

පද රචනය - කේ.ඩී.කේ ධර්මවර්ධන
සංගීතය හා ගායනය - වික්ටර් රත්නායක

Monday, November 25, 2013

රෑ බෝ වී එන

රෑ බෝ වී එන හැන්දෑයාමේ
රතු වී මුහුදට හිරු වැටුණා
ඒ මොහොතේ මට ගිනි ගත් නගරෙක
අප දෙදෙනා උන් හැටි දැනුණා...

ඔබ එක අතකින් මා එක අතකින්
අවුදින් ඉස්සර මුණ ගැසුණේ
මේ ඉර අහසින් වැටෙන වෙලාවක්
සොයමිනි අප දෙදෙනා සිටියේ...

තරු වලටත් ඉඩ වැස්සකටත් ඉඩ
අද ඇත ඕනෑ තරම් ඔහේ
ඔහු අත ගත් ඔබ ඇය අත ගත් මා
ළඟ ඒ ඉඩ නෑ කොහෙත් ලොවේ...

පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය හා ගායනය - වික්ටර් රත්නායක

Saturday, November 16, 2013

අනාථනාථයා‍ණනි

අනාථනාථයා‍ණනි
තුන්ලෝ තල තිලකාය මාන වූ
ශ්‍යාක්‍ය සිංහ වූ
අනාථනාථයාණනි...

මුවින් සිනහ සී සිතින් වෛර කරනා
සිරුර වැළඳ ගෙල සිර කොට හිස සිඳිනා
බුදු බණ නෑසු රුදු මිනිසුන් දැක
පඬුපුල් සෙලසුන් උණු නොම වෙද අද...

දෙතොල හලා හල විෂ තැන තැන ඉසිනා
ප්‍රේමය සාමය පාගා බිඳ දමනා
නොමිනිස් කැළ නම් යහ මඟ නොදකිත්
සිවු වෙනි වරටත් බුදු හිමි වැඩියත්...

පද රචනය - සුනිල් ආරියරත්න
සංගීතය හා ගායනය - වික්ටර් රත්නායක

Saturday, October 26, 2013

අකුරු කරන්නට පොඩි

අකුරු කරන්නට පොඩි සන්ධියෙ බාලේ
මතකයි මවුපියන් නුඹ මට දුන් තාලේ
දෙපතුල වැටී දෑතින් වැඳ ඒ කාලේ
දුන් දුංකොල බුලත් වේලුනි මැද සාලේ....

පාඩම් කියා දී හඬ ගා උගුර තලා
රජ පෙරහැරට නූඹ ඇන්නන් එකතු කලා
වේවැල් කෝටු නාරං අතු ඉවත හෙලා
මම එතැනමය හිමි ගුරු නිවසටම වෙලා....

නුඹලෑ නමින් කැප කොට හොඳ කල වයස
කොපමණ රජුන් හැදුවද ගණිමු ද කෙලෙස
නොහැ‍ඟෙන ලෙසින් පෑදූ බව සිය නැණස
පසු කර පිය මනිති දරුවෝ ගුරු නිවස....

පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය හා ගායනය - වික්ටර් රත්නායක

Wednesday, September 25, 2013

මා තනි කුටියේ

මා තනි කුටියේ මගේම මනසේ
ඇගේ සුවඳ බිඳු තවරා ඈතක
නො එනා ගමන් ගියා දෝ
සුළං රොදේ
සුළං රොදේ

ළමා වියේ සිට ළසෝ තැවුල් විඳ
දුක් ගිනි පීඩා හිසින් දරාගෙන
සිතේ වියෝ ගිනි කතරක් වූ සඳ
ඔබත් නොයනු මැන මා හැරදා
සුළං රොදේ
සුළං රොදේ

ඇගේ මගේ දුක් ප්‍රේම විරහ ගී
අනන්තයේ කඳු අතරේ සඟවා
මගෙන් වියෝවූ ඇගේ ලෝකයට
ඔබත් නොයනු මැන මා හැරදා
සුළං රොදේ
සුළං රොදේ

පද රචනය - උපාලි ධනවලවිතාන
සංගීතය  - සරත් දසනායක

Monday, September 23, 2013

කණ කැස්බෑ නෙත

කණ කැස්බෑ නෙත බලා හිඳිනවා
අහස දකින්නට විය සිදුරෙන්
පෙරුම් පුරාගෙන අහස බැලූ දා
සඳ නැත අහසේ අමාවකයි

පියන් වසාලා අගුළු දමා තිබු
දිවි මැදුරේ කවුළුවක් ඇරී
සඳකැන් සිහිලස ගලා හැලෙන තුරු
බලා උනිමි එය තවත් නැතී

තනිකම ඝනඳුර නොනිමෙන කෙඳුරුම
යළි රජයන්නට වරම් ලැබී
සුපුරුදු උරුමයෙ සුළඟ වැදී යළි
කවුළුව වැසුණා අගුළු වැටී

පද රචනය - කේ.ඩී.කේ ධර්මවර්ධන
සංගීතය හා ගායනය - වික්ටර් රත්නායක

ඒ දණ්‍‍ඬෙන් පිය මනිනු එපා

ඒ දණ්‍‍ඬෙන් පිය මනිනු එපා
ගඟ අද හරිම සැරයි
තැන තැන ඇති ඵල බුදිනු එපා
අද මුළු ගමම විසයි..

විපතක් වූවොත් කාට කියන්නද
මා තනිවෙනවාමයි
තවම බහ නොදුන් ඔබ නැතිදා මම
ගම හැරදා යනවාමයි
අනුකම්පාවෙනි කියන්නෙ ‍මිහිරියෙ...

දෙදෙනා ඉන්නේ දෙගම්මානයේ
ගඟ ඒ මැදින් ඇදේ
පාලම හදලා ඉවර වෙන තුරා
දෙදෙනා බැ‍ඳෙනු ඇතේ
ඔරුවක් මට ඇත ඔබ ගෙන යන්නට...

පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය හා ගායනය - වික්ටර් රත්නායක