Friday, March 29, 2013

කඳුළු පැන්

කඳුළු පැන් - කඳුළු පැන් කෙණ්ඩියක්
සිනහා මල් - සිනහා මල් වට්ටියක්
දෑතට ගෙන යා හැකි දුර ගවු සියයක් වත් වේ නම්
ප්‍රේම වන්තයෙක් වුනාට කමක් නෑ මලේ...

සුසුම් වැල් - සුසුම් වැල් ඔලගුවක්
පැතුම් මල් - පැතුම් මල් පළිඟුවක්
දෑතට ගෙන යා හැකි දුර ගවු සියයක් වත් වේ නම්
ප්‍රේම වන්තයෙක් වුනාට කමක් නෑ මලේ...

උණු කඳුළු - උණු කඳුළු බත් මුලක්
මල් පැදුරු - මල් පැදුරු පන් මිටක්
දෑතට ගෙන යා හැකි දුර ගවු සියයක් වත් වේ නම්
ප්‍රේම වන්තියෙක් වුනාට කමක් නෑ නගේ...

පද රචනය - රඹුක්කන සිද්ධාර්ධ හිමි
සංගීතය හා ගායනය - වික්ටර් රත්නායක

කඩුපුල් තලා

කඩුපුල් තලා
කඳුළින් දොවා
රහසේම ඈ
වෙන්වී ගියා..

දෙගුරුන් වරම් ලබා
ඔහු හා බැඳී
සැරදේ සදා
මට ඒ ඇතී..

පෙළුනොත් නුවන් තෙමී
යම් දාක දී
පවසන් ළ‍ඳේ
සැනෙකින් එමී..

පද රචනය -  කුලරත්න ආරියවංශ
සංගීතය -  ස්ටැන්ලි පීරිස්

සමුගන්නට අවසරයි

සමුගන්නට අවසරයි
අවසරයි අවසරයි
මගේ හිත මට දෙන්නකෝ
ඔබෙ හිත අරගන්න අවසරයි

තව ළඳකට මේ හිත පුද දෙන්න - අවසරයි
අත් හැර ඔබෙ අත් ඇගෙ අත ගන්න අවසරයි - අවසරයි
ඒ ලොව හිඳ මා හිත රිදවන්න අවසරයි....
ලස්සන යුග දිවි පෙවෙතක යන්න අවසරයි - අවසරයි අවසරයි

පෙම් ලොව විසිතුරු ඇය හා විඳිමි - අවසරයි
රන් සමනල ලෝකයකට යන්න අවසරයි - අවසරයි
තුන් හිතකින්වත් ඔබ නොපෙනෙන්න අවසරයි - අවසරයි
මග වැරදුණු දා මා වෙත එන්න අවසරයි....

පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය හා ගායනය - වික්ටර් රත්නායක
යුග ගායනය - නිරංජලා සරෝජිනී

රිය පෙරහැරකින් මංඟල ගමනින්

රිය පෙරහැරකින් මංඟල ගමනින්
පිටගම් ගිය ළඳුනේ
තාමත් ඔබ ප්‍රිය මනාප හදවත
සිහිනෙන් වත් අමනාප නොවේ...

ඕවිට අද්දර බෑවුම් කන්දේ
ළඳු අයිනේ තිබු පුංචි පැලේ
ඒ මල පිපුනේ මටම නොවේදෝ
දොවියනි ඇයි ඔබ සාප කලේ...

ළිහිණි ගිරා කැළ සිංදු අහන්නට
පෙරසේ එනවා කන්ද දිගේ
ගම හැර ගිය දා හෙලූ කඳුළු දැක
තාමත් සඳ නෑ ගමට මගේ...

පද රචනය - උපාලි ධනවලවිතාන
සංගීතය  - සරත් දසනායක

කදුළු මල් පිපුන දා

කදුළු මල් පිපුන දා
හදවතින් ගලා ආ
සෙනෙහසින් වියරු වූ
ජිවිතය නැවතිලා...

කලක් පපුවේ රැදී
ආත්මය උමතු වී
නිමක් නැති ප්‍රේමයේ
සොහොන් කොත පාමුලේ
පරාජිත වී හැඩූ...

වෛරයක්න නෑ හිතේ
ආදරේ නාමයෙන්
මතුව ඉපැදෙන භවේ
මෙහෙම දුක් නොවේවා
නිවන් දකිනා තුරා...

පද රචනය - ශාන්ත දේශබන්දු
සංගීතය - ඩී.ඩී. ගුණසේන

වක්කඩ ළඟ බැද්ද ඉමේ

වක්කඩ ළඟ බැද්ද ඉමේ ඉද්ද ගැසී බලා හිඳී
ගමේ ගැටවු නුඹ යන මඟ කඩ පිළ ළඟ බලා හිඳී
කට කොනකින් වත් එපා හිනා නගන්න
නෙත කොනකින් වත් එපා බැලුම් හෙලන්න...

මල්ගෝමර සිහින් බඳේ සුළඟ දකී ටිකිරි නගේ
මුතු දත් පෙල පුරා නටන කොමළ හිනා බිංදු බිංදු
අනේ කොහෙද නුඹේ රුවට මං දැක නැහැ ගමේ ළන්දු

වත පියුමේ රුවට ළඳේ හඳපානත් වියරු වැටේ
ගොම්මන් කළුවර යාමේ තනි මඟ නොම යන් නිරතුරු
ඔය ලස්සන වසා ගනිං දීගෙක යන දා එන තුරු

පද රචනය - උපාලි ධනවලවිතාන
සංගීතය  - සරත් දසනායක

හුරතලේට කවි කියමින්

හුරතලේට කවි කියමින් එහෙ මෙහෙ ගිය මං
බාල බොළඳ බස් දොඩමින් කැලේ පැන්න මං
බාල වියෙන් පිටමං වී යොවුන් වියට පියමැන්නේ
පිය ළඳුනේ නුඹ නිසාය...

කැදලි පුරා කුරුළු පුරේ ආල හැඟුම් මැවෙනු දුටිමි
කැලේ පුරා ලතා ලපලු තුරුවැල් පෙම් කෙළිනු දුටිමි
එවන් දසුන් මා දුටුවේ
පිය ළඳුනේ නුඹ නිසාය...

උනුන් හඹාදුවන පනින සමණළ පෙම්වතුන් දුටිමි
රැලෙන් වෙන්ව පීනායන ආදරවන්තයින් දුටිමි
එවන් දසුන් මා දුටුවේ
පිය ළඳුනේ නුඹ නිසාය...

පද රචනය - සුනිල් ආරියරත්න
සංගීතය හා ගායනය - වික්ටර් රත්නායක

නුරා රොන් බරින්

නුරා රොන් බරින් පියවුන
ඇගේ සොඳුරු ඉඳුවර ඇස්
ලොවේ කාටවත් කවරදාකවත්
මිහිරි නොවේවා...

මහද සේ සැලී පොපියන
ඈ දොතොල් නුරා උල්පත
ලොවේ අනෙකෙකුට කිසිදා
මිහිරි නොවේවා...

ජීවිතේ නිවා සනහන
ඈ සෙනේ දයා දියපොද
ලොවේ අනෙකෙකුට කිසිදා
සිහිල් නොවේවා...

පද රචනය - ජගත් ගාමිණී මාවතගම
සංගීතය හා ගායනය - වික්ටර් රත්නායක

මියුරු කල්පනා

මියුරු කල්පනා නෙතක දැල් වුනා
අමයුරු රස හසකැන් මැද සිතක් හිනැහුනා
වරෙක නැලැවුනා වරෙක ලතැවුනා
නුපුරුදු ගිණි දහසක් මැද සිතක් මැලැවුනා....

හිමගිර මට වැලි අහුරකි
මහ සමුදුර දිය රැල්ලකි
කටු අකුලෙන් මල් පුබුදමි
ඔබ සැනසේ නම්...

පිණි බිදකින් මුතු අමුණමි
දිනිසුරුගෙන් සීතල දෙමි
කඩුතුඩු මත සැතපෙන්නෙමි
ඔබ සැනසේ නම්...

පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්
තනු නිර්මාණය  - සරත් දසනායක

Thursday, March 28, 2013

නුඹේ නමින් මා දුක් වී

නුඹේ නමින් මා දුක් වී ගොතනා කවිවැල්
නුඹට සොඳුරු ගීතයක් ය සලනා රසු දැල්
උදේ හවා කාන්සියට හෙළනා කඳුළැල්
නුඹට සිහිල් පැන් බිඳක් ය වඩනා මන ලොල්

මා හැරගිය දුකින් තැවී නුඹට සාප කරනු බැරී
නුඹේ නපුරු කමට කිපී හිතේ වයිර බඳිනු බැරී

නිදි නැති රෑ දෑස තෙමී මතක සුවඳ වැළඳ ගනී
මා තනිවුණු අයුරු පෙනී නුඹ සැනැහෙන් මට හිනැහී

පද රචනය - සුනිල් ආරියරත්න
සංගීතය - ඩබ්. ඩී. අමරදේව

සූරිය දෙනුවන්

සූරිය දෙනුවන් පුබුදින අළුයම
නිදිකුම්බා වැල නිදිගන්වා
පෙරදා අප දුටු සිහින නෙළන්නට
එන්න දේවිකා පියා සලා...

මිහිදුම් සළුවෙන් දෑස මුවා කොට
පිණි කඳුළැල් මඟ දිග රන්දා
සැමරුම් විජිතය සොයා ඉගිල යමු
එන්න දේවිකා සිනා සලා...

නිදිකුම්බා වැල දෑස හරින තුරු
අතීත හෙවණැළි ළඟට වෙලා
අපේම ආදර ලොවක හිනා වෙමු
හද ජීවිතයෙන් ඈත් වෙලා...

පද රචනය - මහින්ද අල්ගම
සංගීතය  - සරත් දසනායක

ඇයගේ ඇකයෙහි

ඇයගේ ඇකයෙහි ඔබ හිස රඳවා
සැණැහුනු මොහොතක ඔබේම දෙනෙතින්
මා ඔබ දු‍ටුවා, ඇයට නොවේ
ඔබට පමණි ඔබ ආදරේ...

වසන්ත දෙකොපුල්, නිදිවැරු තොල් මල්
දසැඟිලි තුඩු අග, පිබිදුණු රණහස
ඇයට ආදරේ ආදරේ මම
ඇයට ආදරේ ආදරේ...

ඇගේ සුරත ගෙණ, පිණි විල්ලුද මත
ඇයට ඇලුම් බව ඔබ පැවසූ පසු
පෙරළා ඔබ හට පෙම් කරනා බව
ඇය මුමුණන සඳ ඔබ සිත සුවපත් වේ
ඔබ සිත සුවපත් වේ…

ඇයට පමණි මම ආදරේ…
ඔබට පමණි ඔබ ආදරේ…
ඇයට පමණි මම ආදරේ…
ඔබට පමණි ඔබ ආදරේ...

පද රචනය -  බණ්ඩාර කේ විජේතුංග
සංගීතය හා ගායනය - වික්ටර් රත්නායක
සහාය ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව

දෙදරු ලඳුනි මට නිදි නෑ

දෙදරු ලඳුනි මට නිදි නෑ
තරු පෑයූ ගිනි කතරේ
ඉඳි ගස් සෙවනේ
වැලි හුල‍ඟේ කාසි නොවේ
සිඹින්න බැරි දරු සුවඳයි පාවී එන්නේ...

උපන් බිමට දත නියවා
රන් කාසිය මිට මොළවා
සිත කකියන්නේ
උන්නත් පෙර අප නොකා නොබී
නවසි තැඹිලි ගස් සෙවනයි
දැන් සිහිවෙන්නේ...

සැනසෙන්නට නුඹගේ කියා
කටහඬවත් ඇහෙනවනම්
ඉහ ඉද්දරිනේ, දැක ගන්නටවත් නුඹයි කියා
හීනෙන් වත් පෙනෙනවනම්
ඇහැ පියවෙන්නේ...

පද රචනය - ලූෂන් බුලත්සිංහල
සංගීතය හා ගායනය - වික්ටර් රත්නායක

මල් ලියකම් රැඳි

මල් ලියකම් රැඳි පෙම් සිතුවම් ඇඳි
ආදර විජිනි පතින් කවුදෝ
සිහිල් පවන් සලනා
කියා ගන්න බැරි නුහුරු හැඟුම්
ඔබෙ නුවන් පුරා ඇඳෙනා...

ඔච්චම් කර මල් කුමර කුමරියෝ
අප වට කර හිනැහෙන්නා
කිඳුරු කොදෙව්වේ මුතු පායේ
හැංගෙමු අපි දෙන්නා...

රත්තරනින් සැදි කේතකි මං පෙත
අත්වැල් බැඳ යමු රත්තරනේ...
පිච්ච මලින් පිරී ලෝකය අපටයි
ස්වප්න පරාදීසේ සුරංගනාවියනේ...

පද රචනය - අජන්තා රණසිංහ
සංගීතය - සරත් දසනායක
චිත‍්‍රපටය - චූඩා මාණික්‍යය (1979)


නියපෙල සිඳලයි

නියපෙල සිඳලයි දෑත පාන්නේ
තුරුලට ගන්නට ආදරයෙන්
දැලි පත සිදලයි කොපුල පාන්නේ
මුව සිප ගන්නට ආදරයෙන්...

මව් නැති යාමේ මා උර මඩලේ
දෙතොල් හොවයි කිරි සුවද සොයා
දහඩිය සුවදක් දැනුනිද පුතුනේ
දෙරණට මුහුවන නුඹ වෙනුවෙන්...

නිදි නැති යාමේ මා ළය තුරුලේ
කැළුම් ගෙනෙයි මුදු සිනහ පපා
උණුසුම් සුසුමක් දැනුනිද පුතුනේ
පවනට මුහු වන නුඹ වෙනුවෙන්..

පද රචනය
සංගීතය - ජයන්ත රත්නායක

මගෙ හද ඔබ ළඟ

මගෙ හද ඔබ ළඟ ඔබෙ හද මා ළඟ
එනමුදු මගෙ අත වෙනතක බැඳ ඇත
දහසක් බැමි ඇත දහසක් ගිනි ඇත
එනමුදු නිවහල් ලොවකුත් ළඟ ඇත

විල්ලුද පලසින් රන්මිණි කැලුමින්
සැරසුණු සිරගෙය මා වටකොට ඇත
පිදුරු සෙවිලි කළ ඔබෙ පැල්පත වෙත
එන්නට මට කිසි අවසරයක් නැත

අතීතයේ රස මියුරු සැඳෑවන්
අද මගෙ හදවත අඬවන සුසුමෙකි
මිහිරියෙ අප හට ඉතිරිව ඇත්තේ
අපේ කල්පනා ලෝකය පමණකි

මේ සිරගෙය මැද දෙනෙත් පියාගෙන
සිරුරෙන් මියගොස් මා සිටිනා විට
ඔබේ සිඟිති මඳ සිනහ උපුල් මල්
මගේ සිහින ලොව දස අත සුපිපෙයි

යදම් පවුරු සහ සීමා අතරෙහි
මිරිකී කුමකට සිත රවටන්නෙද
දෑත දෙපා හා සිත ද මුදා හැර
මගේ ලොවට දිව එනු මැන සඳවති

පද රචනය - බණ්ඩාර කේ විජේතුංග
සංගීතය හා ගායනය - වික්ටර් රත්නායක

මනෝ මන්දීරේ

මනෝ මන්දීරේ
අපේ සෙනෙහස අතීතේ
මිය ඇදී ගිය අකාලේ
මිය ඇදී ගිය අකාලේ
මනෝ මන්දීරේ

සඳේ සුසුමයි සුව ගෙනාවේ
සැඳෑ මඳ අඳුරේ
හදේ පැතුමයි හුදකලාවේ
සදා රජ වූයේ
අරාජික මා
මනෝ මන්දීරේ

ඇසේ කඳුළයි හඬා කීවේ
නොකී ගොළු ගීතේ
අපේ උපතයි අපේ විපතයි
මෙසේ නිම වූයේ
අන්ධකාරේ
මනෝ මන්දීරේ

ගී පද - කුමාරදාස සපුතන්ත්‍රී
සංගීතය හා ගායනය - වික්ටර් රත්නායක

විකසිත තරු රෑනේ

විකසිත තරු රෑනේ
එපා මවන්නට ඉතින් ඇගේ රුව
මුකුලිත මල් ළඳුනේ
එපා අසන්නට ඉතින් ඇගේ වත
ඈ නැත මගේ ලොවේ

එකම සිතක් ලෙස සිත් දෙක හඳුනා
එකම පැතුම වී දෙසිතම පිපුණා
හෙටත් උදෑසන කුරුල්ලනේ තොප
ඈ මා එන මඟ බලා හිඳිනවද
ඈ නැත මගේ ලොවේ

අටවක පෝයට පන්සල වැඳලා
කන්දෙ විහාරේ දෙවියන් පුදලා
පහන් දල්වලා දෑතම සිපගෙන
දිවුරා කීවත් පලා නොයන වග
ඈ නැත මගේ ලොවේ

පද රචනය - උපාලි ධනවලවිතාන
සංගීතය - එච්. එම්. ජයවර්ධන

සඳත් ඉරත් නැති

සඳත් ඉරත් නැති - තරුත් වැසී ඇති
වනන්තරේ නැත තනියක්
ඔබත් මමත් ඇති - මටත් ඔබත් ඇති
මිනිස් පුරේ ඇයි තනියක්

ගලා ගලා යන ගඟේ පිරී දිය
ඇළේ දොළේ ඇසුරට වී
සිනා සිසී වන පෙතේ හිඳී
රස බිබී මුවන් තුඩ ඇතිරී..

සොබා දමේ දැඩි සිහිල් නිසංසල
සුවේ බිඳී ලොව සිතුසේ
ඔබේ මගේ පැල බෙදී බිඳී යන
සුළං කැරැල්ලේ දුකසේ..

පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය හා ගායනය - වික්ටර් රත්නායක

Wednesday, March 27, 2013

ආශා නිරාශා මැවූ

ආශා නිරාශා මැවූ
ඈ ස්වප්න මායාවකී
ස්නේහේ ගඟුල් ප්‍රේමේ තැවුල්
මැවූ ඉන්ද්‍රජාලේ ඇයයි

දවාලන්න පෙම් මාරුතේ
ඇයයි ළංව ඉන්නේ සිතේ
නිවාලන්න දුක් ජීවිතේ
ඇයයි නිල්ල මල් මාවතේ
දිවා රැයේ මා ළඟයි
මගේ අරුම පෙම් අංගනා

නෙතේ හැංගි හැංගී හිඳී
සිතේ ස්වර්ණ යහනේ නිදී
මුවේ මන්දහාසේ දිදී
මගේ නින්ද ආයේ බිදී
දිවා රැයේ මා ළඟයි
මගේ අරුම පෙම් අංගනා

පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය හා ගායනය - වික්ටර් රත්නායක

හිත ගාව දඟ කලා

හිත ගාව දඟ කලා
නෙතු ගාව හිනැහුනා
පැතුමකට ඉඟි කලා
හදක ආරාධනා...

සන්සුන් වු කල්පනා විජිතයේ පාවුනා
ඔබේ සෙනෙහස ගෙනා මිහිරි ආරාධනා
මල් පිපුණු තාරකා විමානේ තනි වුණා
හැඟුම් මන්මත් කලා සුසුම් ආරාධනා...

සිනිඳු මල් පෙති පුරා බඹර ගී ලියැවුනා
සිවු නෙතක් ළං කළා ඔබේ ආරාධනා
කුරුළු ගී පාවුනා නිල් ගුවන් ගැබ පුරා
වසත් කල ළං කළා සෙනෙහෙ ආරාධනා..

පද රචනය  - කුසුම් පීරිස්
සංගීතය හා ගායනය - වික්ටර් රත්නායක

ඔබේ දෙතොල් පෙති

ඔබේ දෙතොල් පෙති ලිහී පිපුණු හසරැල් විලේ
හද දියව ගලා යයී රැළි ලමින් සැලි සැලී
මෙවන් සුව පෙර නොවිදී තුන් සිතම සලිත වේ
සසර සැරිසරන තෙක් ඔබ මගේ ඔබ මගේ...

හිරු නිවී මුහුදු තෙර රාත්‍රිය එලඹිලා
තරු කඩා වැටෙන විට අහස් ගඟ කලඹලා
මට බලා ඉන්න බෑ ඔබෙ නුවන් පෙනෙනවා
සසර සැරි සරණ තෙක් ඔබ මගේ ඔබ මගේ...

නා ගසක් දළු දමා වසන්තය එලඹිලා
මඳ පවන් රැල් වැදී සැලෙන විට කැලඹිලා
මට බලා ඉන්න බෑ දෙතොල් ඔබෙ පෙනෙනවා
සසර සැරිසරන තෙක් ඔබ මගේ ඔබ මගේ...

යුග ගණන් පැමිණි මඟ පැටලිලා වැරදිලා
ඔබ මගෙන් වෙන්ව ගිය ලකුණු ඇති මාවතේ
මට බලා ඉන්න බෑ පෙර ඇසුර හැඟෙනවා
සසර සැරි සරණ තෙක් ඔබ මගේ ඔබ මගේ...

අහස් තල පොළෝ තල ඔබට මට පොදු වෙලා
හදවතින් එක් උනත් ගතින් දෙදෙනෙකු වෙලා
මට බලා ඉන්න බෑ සියොලඟම තැවෙනවා
සසර සැරි සරණ තෙක් ඔබ මගේ ඔබ මගේ.....

පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය හා ගායනය - වික්ටර් රත්නායක

ඔබ නැතුව ඉන්න බැරි තරමට

ඔබ නැතුව ඉන්න බැරි තරමට
ඔබ හිතට ඇවිත් හෙමි හෙමිහිට
ඔබ නොදැක ඉන්න බැරි තරමට
නෙත ඔබව සොයනවා දවසෙම

මේ සීතල හිම ගිරි අරණේ
මට හමු වූ වනපස කුසුමේ
පෙති මත සතපා රැගෙන යන්න මා
කුසුම් නිම්නයේ මාලතියේ

මේ ජීවන අවපස අහසේ
ඔබ පුරපස සඳ වී පිපුණේ
ඔබේ රැසින් මා දවාලන්න රෑ
ළය මත සනහා රාජිනියේ

පද රචනය -  සුජීව ප්‍රසන්න ආරච්චි
සංගීතය හා ගායනය - වික්ටර් රත්නායක

සෝක සැනසුම් වේදනාවන්

සෝක සැනසුම් වේදනාවන් ආදරේ පුරවා ගෙනා
ඈගෙ නිලුපුල් දෑසෙ කඳුළැල් ජීවිතේ මතු වාසනා..

වීණාවෙ තත් මැද ගී ගයන්නේ පෑ සෙනෙහෙ හද මිහිර මවා
රන්කේලි බඳිමින් මඟ සරසන්නේ ජීවන ගමනේ පිහිට පතා..

මා සිහින විමානේ පැතුම් තටාගේ ආදර කුසුමන් පිපී තියේ
සැනසීම හෝ වැනසීම ඔබගේ ඔය නිල් දෑසේ රැඳී තියේ..


පද රචනය - මීගොඩ විල්සන්
තනු නිර්මාණය - මර්වින් පෙරේරා

පෙම්බර මධු මගේ

පෙම්බර මධු මගේ මා නැතේ ඔබෙන් මිදුනේ
සුරූපී දේහ විලාසේ මැවේ මැවේ නයනේ
පෙම්බර මධු මගේ

ලොවෙහි ඈත අනන්තේ පැලක් තුලේ නොපෙනී
ඇතත් හොරෙන් හැන්ගීලා මගේ දුකත් නොදනී
අරන් එමී ඔබ කැන්දා ඇසිල්ලකින් පැමිණී
සුරූපී දේහ විලාසේ මැවේ මැවේ නයනේ
පෙම්බර මධු මගේ

වඩාල දෝත පුරාලා පරවී කුමාරිය සේ
සුගන්ධ මල් යහනාවේ හොවා පෙමින් සිතුසේ
පවන් සලා ඔබ සනසා ලදැල්ලකින් සුවසේ
සුරූපී දේහ විලාසේ මැවේ මැවේ නයනේ
පෙම්බර මධු මගේ

අපේම පාලු විමානේ නිසංසලේ සහනේ
අමා පැනින් මත්වීලා ඔබේ දෙතොල් බඳුනේ
විදින්නේමී රස මදිරා පෙරුම් පිරූ ලෙසිනේ
සුරූපී දේහ විලාසේ මැවේ මැවේ නයනේ
පෙම්බර මධු මගේ

පද රචනය - කරුණාරත්න අබේසේකර
සංගීතය - පි.එල්.ඒ. සෝමපාල

මම තරහා නැහැ

මම තරහා නැහැ
ප්‍රේම පත්‍ර බොළඳ වචන කුළු ගැන්වූ ආදරයක්
සිටු මැදුරක විසූ ඔබට මගේ පැලේ ඉඩ මදි නම්
කුමාරයෙකු අත ගන්නට වේවි වාසනා...

හිතට දුකක් ඇති වෙනවා ඒ වුනාට නෑ කමක් නෑ
මම තරහා නැහැ

අමෘතයද ඉවත හෙලයි හිත නැති නම් මුව තැබුමට
ඉරණම එය විසඳනු ඇත මටත් කලක් උදාවේවි
රැහැන් වෙලා බැඳගන්නට බැහැනේ ආදරේ..

හිතට දුකක් ඇති වෙනවා ඒ වුනාට නෑ කමක් නෑ
මම තරහා නැහැ

පද රචනය හා සංගීතය - පුණ්‍යසිරි මහවත්ත

දුක කියන්නට කෙනෙක් නැති දා

දුක කියන්නට කෙනෙක් නැති දා
දුක ඇසූ නුඹ
අද මගේ
දුකට හිනැහෙන්නේ..

වියළි තතරට වැහි පොදක් ලෙස
කඩාගෙන වැටි නුඹේ සෙනෙහස
මහා මේඝයක් ලෙසින් හමා විත්
මට මාව නැති කලේ කොහොම ද..

හදවත ඇවිලුනු අතීත දුක් ගිණි
සුවපත් කළ පින නුඹට අයිති මුත්
ප්‍රේමය මියගිය නුඹ හද දෙවොලින්
හෙටක් පතන්නට හිතට වාරු නැත..

පද රචනය - ඩිෂාන් නානායක්කාර
සංගීතය - එච්. එම්. ජයවර්ධන

ඔබ වගේ කෙනෙක්

ඔබ වගේ කෙනෙක් තව ඇත්නම්
ඒ ඔබම තමයි මේ ලෝකේ
සඳ වගේ සඳක් තව ඇත්නම්
ඒ මගේ සඳයි සිත් අහසේ...

සරස සරස මම ඉන්නට ආසයි
සිරස සිරස සිප ගන්නට ආසයි...

ඔබ හිනාවකට සුදු මුතු මල් දම්
මේ ළයේ පහන් දැල්වෙන අන්දම්
ඔබ මගේ කියා මට හිතෙනව නම්
ඒතරම් සැපක් මට නෑ ආයේ...

සනස සනස සිත මම ඉන්නම්
සිහින සිහින මැද සරනව නම්...

රන් රූපෙන් ගලනා විට සඳකැන්
මේ රැයේ කොහොම ඉන්නද නොදනිම්
මා ඔබෙයි කියා ඔබ සිතනව නම්
මේ තරම් දුරස් වී ඇයි ඉන්නේ...

පැටළි පැටළි ඔබ ළඟ ඉන්නම්
නැළවි නැළවි ඔබ නළවන්නම්...

පද රචනය -  සුජීව ප්‍රසන්න ආරච්චි
සංගීතය හා ගායනය - වික්ටර් රත්නායක

දිනෙක හිරු බැස යන වෙලාවක

දිනෙක හිරු බැස යන වෙලාවක
සයුරු වෙරලක හුදෙකලාවක
කල්පනාවේ සිටින මොහොතක
මතක් විය සිතුවිලි අතීතෙක..

සයුර මා විය, අහස ඔබ විය
දෙදෙන ලංවූ සිතිජයක් විය
ඒ වෙලාවේ මට මතක් විය
කලක් ලොව අප ගැන සිතූ හැටි..

සයුර මා විය, අහස ඔබ විය
දෙනෙත රැවටූ සිතිජයක් විය
කී කතාවේ අරුත වැටහින
අහස සමුදුර එකතු වී යැයි..

පද රචනය - කේ.ඩී.කේ ධර්මවර්ධන
සංගීතය හා ගායනය - වික්ටර් රත්නායක

කඳුළු අකුරු පෙළ

කඳුළු අකුරු පෙළ සුසුම් මියැසි සර
පැරදුන ගීතය අසා පුරුදු සුළ‍‍ඟේ
අනේ ඇයි දිව යන්නේ
පැරදුන ගීතය අසා පුරුද් සුළ‍ඟේ...

තරණය නොකලැකි ඇගේ ඉසවුවේ
බැඳ ඇත ප්‍රාකාරේ
කඳ්‍රළින් ලීවෙමි සෝකී ගීතේ
විරහ වේදනාවේ..

ගවුවෙන් ගවුවට වෙන් වන්නට දෝ
අප මාළිග තැනුවේ
ගවුවක් ඈතින් ඔබ සිටියත් නෑ
මතක සිහින මැකුනේ..

පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය හා ගායනය - වික්ටර් රත්නායක

චිත්‍රපටිය - වජිරා

අඹ ගස් යට මල් හැලිලා

අඹ ගස් යට මල් හැලිලා
සුවඳේ බැරුවා ඉඳින්ට
ඒ අඹ මල් සුවඳ දිගේ
වන බඹරෝ රොනට එන්න

මගෙ බඹරිය කැලේ දමා
එන්නට බෑ අඹ වනයට
මුසා බසින් මා නොතලා
එන්න සුවඳ මල් හෙවනට

බඹරු නැද්ද අඹ වනයේ
ඔබේ හිතට ගතට ඔබින
අන් බඹරුන් ඕනෑ නෑ 
ඔබයි මගේ පැතුම් විමන

පද රචනය - සුනිල් ආරියරත්න
සංගීතය හා ගායනය - වික්ටර් රත්නායක
යුග ගායනය - නිර්මලා රණතුංග

රූකඩ මඩු යාග පොලේ

රූකඩ මඩු යාග පොලේ කෝළ නුඹේ රුවට ළොලේ
ආල පිරූ මා ගැන දැන් නැද්ද නිනව්වක්...

ඈත ලන්ද දියමංකඩ ඔහොම පිපී තිබුණු මලට
ආලවන්ත බහක් දෙන්න ආ බඹරින්දු
මලට ළොලේ පිණි කඳුළේ
නිතර රැඳී උන් බඹරින්දු....

යාය පුරා මල් උතුරා කෝළ දැරිවි කුමරි වෙලා
මාල හතක වරම ගන්න දෑත වනන්නා
නිබඳ මගේ පිරුණු සෙනේ
නුඹ නොදනී මල්මද ලන්දු...

පද රචනය - වසන්ත කුමාර කොබවක
සංගීතය හා ගායනය - වික්ටර් රත්නායක

Monday, March 25, 2013

සිහින සතක් දුටුවෙමි මම

සිහින සතක් දුටුවෙමි මම සත් දවසක් එක විලසින්
එක සිහිනෙක ඔබ දුටුවා සිඟන්නියක සේ..

ඔබ මගේ පැල්පතට පැමිණ, ආයාචනයක් කරමින්
ජීවත් වන්නට කිසිවක් ඉල්ලා සිටියා..

කිසිවක් දෙන්නට මට නැත, තිබුනේ පිරිසිදු හදවත
සිඟන්නියේ එය ඔබ හට දුන්නා මතකයි..

එදා මගේ හද අරගත් ඔබ, අද මට වැඩි පොහොසත්
ඒ හින්දා මටත් එලෙස පිහිට වනු මැනේ..

පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය හා ගායනය - වික්ටර් රත්නායක

ආදරයේ උල්පත වූ අම්මා

ආදරයේ උල්පත වූ අම්මා, මා ඔබගේ පුතු වූ
‍ඔබ මතු බුදුවන දවසේ, මා රාහුල කුමරුන් සේ
සෙවන පතා අද මෙන් පැමිණෙන්නෙමි
සුළැගිල්ලේ එල්ලී...

සඳ දිය කොට කිරිවතුරෙන්, ඒ දියරෙන් මුව දෝවා
දිව මතුරක්වන් නැලැවිලි ගීයෙන්, මතකයි මා නැලැවූවා
ජීවිතයෙන් ජීවිතයක් ගෙන දී, ඒ ජීවිතයට කිරි දී පණ දී
මා දැඩි කල අම්මා...

තුරුලට ගෙන අත් පා හැඩ ගස්වා, නිදි ගන්වා යහන් ගැබේ
සිහිනෙන් ගෑ සුවඳක් මෙන්, සිහිවෙයි ඒ කිරි සුවඳ ඔබේ
දවසින් දවසට සෙනෙහස ලබැදී, ගෙන දී දිවියට නව පන ලැබදී
මා දැඩි කල අම්මා...

පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය හා ගායනය - වික්ටර් රත්නායක