Thursday, May 23, 2013

සාගර ජලය මදි

සාගර ජලය මදි හිමි ගුණ ලියන්නට
අහසේ තාරුකා මදි ගුණ ගයන්නට
පොළවේ වැලි වලින් බැහැ ගුණ මනින්නට
හඳටත් ඉරටවත් බැහැ ගුණ කියන්නට..

සුළඟට බැරිය අපමණ ගුණ බෙදන්නට
හඬකට බැරිය නිම නැති ගුණ ගයන්නට
පසතුරු නදටවත් බැහැ ගුණ වයන්නට
දෙසවණ මදි හිමි වරුණය අසන්නට..

දොලකට බැරිය හිමි සිරිපද දොවන්නට
පින්නට බැරිය හිමි සිරිපද තෙමන්නට
මිනිසත් බවය ලත් මට බැරි ලබන්නට
මල කල පින කවර ඔබ ළඟ මියෙන්නට..

පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය හා ගායනය - වික්ටර් රත්නායක

Tuesday, May 21, 2013

ඈගේ පහසින්

ඈගේ පහසින් මත් වූ සුව‍ඳේ පැටලී පාවී හද පියඹා
මේ රෑ ඉවසුම් නොදේ කැළඹිලා...

මී විත මා මුව යා වෙලා
රෑ අඳුරේ මුළුගැන්විලා
ඈ ඇසුරේ හද නිවුනා
රහසින් රහසේ පාවෙලා...

ඒ නෙත ඒ සිත මා සොයා
මා සනසා මන් මත් කලා
ඒ මොහොකේ හිතට හොරා
දෑසින් කඳුළැල් වෑහුනා...

පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය - ස්ටැන්ලි පීරිස්

Sunday, May 19, 2013

පාවේ වලා

පාවේ වලා
ඈත කඳු බලා
පෑ ආදරේ අමා
මා හද මවා
මා හද මවා...

කඳුලැල්ලෙන් හසරැල්ලෙන් සිහින මැවෙනවා
ජීවිතයේ මිහිරි සුවේ මහද නැගෙනවා
ආලෝකෙ විහිදා සංකා නැසේ සුසුම් රැල් මැකේ
නුවන් දිය සිඳේ පහන් පෙම දිලේ...

හාදව පෙම් බැන්ද රුවින් පාළුව මැකුනා
ආදර ලොව අන්ධ නොවේ දෙහදක නැඟෙනා
දෑසේ මැවේ ආදරේ මල් හිනා තුටින් පිරි ලොවේ
සහන් එලි නැගේ පහන් පෙම දිලේ...

පද රචනය - මීගොඩ විල්සන්
තනු නිර්මාණය - මර්වින් පෙරේරා

Monday, May 6, 2013

මල්සර උක්දඬු දුන්නෙන් පැණි බී

මල්සර උක්දඬු දුන්නෙන් පැණි බී
දේදුන්නක් උඩු අතට නවා බිඳ
මල් උයනක මල් අවුල්කර දමා
ඔබේ පැල්පතට ඔබ දැක ගන්නට
ආවෙමි වියරු වැටී...

ඔබ හඬනා හඬ මට ඇසුණේ නැත
ඔබ හිනැහෙන හඬ මට ඇසුණේ නැත
ඔබ නිහඬ ව සිටිනා හඬ පමණක්
සවන් යොමා සිටි මට ඇසුණා
ඔබේ නිහඬ බව මා සිත කලඹයි...

හිනැහෙනු මැන හසරැල් අතුරා වත
හඬනු මැනවි නැතිනම් පොඟවා නෙත
ඔබ නිහඬ ව සිටිනා විට මගෙ සිත
මුළු ලොව හැඬුවත් දෙසවන නොමදෙත
ඔබේ නිහඬ බව මා සිත කලඹයි...

පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය හා ගායනය - වික්ටර් රත්නායක

දෛවයෝගයකින් නොවේදෝ

දෛවයෝගයකින් නොවේදෝ
හමුවුණේ අප හමු වුණේ
දෛවයේ සරදම් ලබන්නට
කිම මෙසේ අප හමුවුනේ...

ඇදුරුතුමියයි ප්‍රේමයේ ඔබ
ඇදුරුතුමියයි යෞවනේ
ශෝකයේ රුදු වේදනාවේ
කඳුළු සයුරේ උල්පතයි...

නඳුන් උයනයි ස්නේහයේ ඔබ
සඳුන් සිළිලයි ජීවිතේ
සොම්නසේ ආනන්දයේ
හසරැල් තරංගේ උල්පතයි...

පද රචනය - සුනිල් ආරියරත්න
සංගීතය හා ගායනය - වික්ටර් රත්නායක

කතරට කුමටද වසන්තයක්

කතරට කුමටද වසන්තයක්
සයුරට කුමටද අනන්තයක්
ඔබ පිලිබඳ සිත මගෙ තනියට ඇත
මට කුමටද වෙන සිතක් කයක්...

දුහුවිලි සුලි සුලි නැගෙයි බි‍ඳෙයි
දිය ඇලි දිය ‍රැලි ඇදෙයි ‍රැ‍ඳෙයි
මතකය ලුහුබැඳ ඔබ වෙත එන සඳ
ජීවිතයම මගෙ ඔබෙයි ඔබෙයි...

සඳ ‍රැස පිණිදිය ‍රැලෙහි ඔතා
පලඳමි ගෙලවට මලක් ගොතා
ඔබ නැති මිහිමත මගෙ පණනළ නැත
දෙදෙනෙකු මුත් අප එකයි එකයි...

පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය හා ගායනය - වික්ටර් රත්නායක